කොවිඩ් -19 වසංගතය මර්දනය කිරීම සඳහා කැපවී කටයුතු කරන රාජ්‍ය සේවකයින්ට තම උපහාරමය ස්තූතිය හිමි වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඊයේ (12) කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල, කැස්බෑව ප්‍රදේශයේ පැවැති හමුවක් අමතමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ රාජ්‍ය අංශය නොමැති වී නම් රජයට කොවිඩ් වසංගතය පාලනය කිරීම අසීරු විය හැකිව තිබූ බවයි.
මුළු රටටම සෞඛ්‍ය ඇඳිරි නීතිය පනවා තිබූ අවස්ථාවක සෑම නිවසකටම කෑම, වියළි ආහාර, ජලය, මුදල්, ඖෂධ ආදී සියලුම අවශ්‍යතා සපයා දීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේ දී රාජ්‍ය අංශය සිදුකළ මෙහෙය සුවිශාලයි.
අත්‍යාවශ්‍ය සේවා ජනාධිපති කාර්ය සාධක බලකාය, දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ සිට ගමේ සමෘද්ධි නිලධාරියා, ග්‍රාම නිලධාරියා, සංවර්ධන නිලධාරියා, කෘෂි නිලධාරියා, මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරියා ඇතුළු සමස්ත රාජ්‍ය සේවකයා සිදුකළ කාර්යභාරය කිසිදු අවස්ථාවක අමතක නොකරන බව ද අග්‍රාමාත්‍යවරයා මෙහි දී සඳහන් කළේය.
1977 වසරේ සිට පත් වූ එජාප රජයයන් සෑම විටම රාජ්‍ය අංශය බෙලහීන කිරීමට කටයුතු කළ බවත්, තම රජයක් යටතේ රාජ්‍ය අංශය ශක්තිමත් කිරීමට පියවර ගැනීම හේතුවෙන් කොවිඩ් -19 වසංගතය පැමිණෙන අවස්ථාවේ ඊට මුහුණදීමට හැකියාවක් සහිත රාජ්‍ය අංශයක් ඉතිරි වී තිබූ බවත් අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
වසංගත තත්ත්වයක් හෝ ඕනෑම අර්බුදකාරී තත්ත්වයකට රට මුහුණදෙන අවස්ථාවක දී ඊට ශක්තිමත්ව මුහුණදී ජනතාවට සහන සැලසීම උදෙසා වත්මන් රාජ්‍ය අංශය ස්ථාවර කිරීමටත් රාජ්‍ය සේවකයා සෑමවිටම සුරක්ෂිත කිරීමටත් රජය බැඳී සිටින බවද එහිදී අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.
