ඉන්දීය ජාතිකයන් 06 දෙනෙකු විසින් නීතිවිරෝධී ලෙස රත්තරන් කැබලි තොගයක් චෙන්නායි වෙත රැගෙන යමින් සිටියදී කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (30) දින අත්අඩංගුවට ගනු ලැබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශක ,අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය .
මොවුන් ඊයේ දින උදෑසන 5.30 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 274 දරන ගුවන් යානයට ඉන්දියාවේ චෙන්නායි වෙත පිටත්ව යෑම සඳහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
මෙම ඉන්දීය ජාතිකයන් කුළී පදනම මත මෙම භාණ්ඩ ඉන්දියාව වෙත ප්‍රවාහනය කරමින් සිටින පුද්ගලයන් වන අතර , ඔවුන්ට මෙවැනි එක් ගමන් වාරයක් සදහා බත් පාර්සලයක් සහ ඉන්දීය රුපියල් 500 ක මුදලක් ලබා දෙන බව රේගුව අනාවරණය කර ගෙන තිබේ .
මොවුන් මෙම රන් කැබලි තම ගමන් මලු වල සහ ඔවුන් හැද සිටි කළිසම් සාක්කු වල සඟවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් සොයාගෙන අත්අඩංගුවට ගෙන තිබේ .
මෙහි රුපියල් 58,92,880 ක් වටිනා ග්‍රෑම් 737 ක් බර රන් කැබලි තොගයක් තිබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය .
මෙම අත්අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සහකාර රේගු අධිකාරීවරුන් වන ඩිලාන් වීරරත්න , උමංගා ද සිල්වා , වාසනා රූපසිංහ , පසන් ගමගේ , මංජුලා සූරියආරච්චි , ඕසද කටුවාවල , චරිත් සුරංග , දිලේකා තෙන්නකෝන් , රේගු අධිකාරීවරුන් වන යූ.කේ.ටී.ජයවර්ධන , සහ ඒ.සී.එන්.සබ්රි යන නිලධාරීන් විසින් සිදු කර තිබුණි .
මේ පිළිබඳව විධිමත් රේගු පරීක්ෂණය නියෝජ්‍ය රේගු අධ්යක්ෂ පී.එල්.ජේ.ගුණරත්න මහත්මිය විසින් පැවැත්වූ අතර , එහිදී මෙම රත්තරන් කැබලි සියල්ල රාජසන්තක කර , මෙම ඉන්දීය ජාතිකයන් 06 දෙනාට රුපියල් 1,25,000 ක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කර තිබේ .
කටුනායක - ටි.කේ.පි කපිල
