රටක් වශයෙන් ඉදිරියට යාමට නම් මානව සම්පත දියුණු කළ යුතු බවත්, එවිට රටේ ජනතාව වශයෙන් එකිනෙකා සිතන ආකාරය අලුත් වි සාමුහික ව දුර ගමනක් යෑම තුළින් අනාගතයේ දී මානව ප්‍රාග්ධනයෙන් හොඳම රටක් බවට පත්වන්නට හැකියාව ඇති වන බව අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, ලෝකයේ නව තාක්ෂණ ප්රවණතා ශ්‍රී ලංකාවේ දරුවන් වෙත හඳුන්වාදෙමින් ක්‍රියාවට නංවන ලද රොබෝ තාක්ෂණය පාසල් දරුවන් අතර ප්‍රචලිත කිරීමේ වැඩපිළිවෙළ යටතේ පළමු අදියරට තෝරාගත් පාසල් 87ක් වෙත අදාළ රොබෝ උපකරණ කට්ටල බෙදාදීම සඳහා අද (29) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති උත්සව අවස්ථාවට එක්වෙමිනි.
නුපුහුණු ශ්‍රමිකයින් වෙනුවට පුහුණු ශ්‍රමිකයන් හරහා විදේශ විනිමය සෙවීමට ඉදිරියේ දී සූදානම් විය යුතුය. කියුබාව ලෝකයට ම වෛද්‍යවරුන් සපයන රටක්. බැංගලෝර්වල සිටින තොරතුරු තාක්ෂණ ඉංජිනේරුවන් මුළු ලොවටම සිය සේවාව සපයන බවත්, පිලිපීනය නැවියන්, හෙදියන් පිටරටවලට සපයන බවත්, අපට ඇති වටිනාම සම්පත ද මානව සම්පත වන හෙයින් එය නිසියාකාරව සංවර්ධනය කිරීමට අධ්‍යාපනය යොදාගත යුතු බවත් අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.
මෑතකාලීන ව අධ්‍යාපන ක්ෂේත්රය තුළ විශාල වැඩකොටසක් ඉටු කිරීමට හැකි වූ බවත්, භෞතික සම්පත් සංවර්ධනයට මෙන්ම මානව සම්පත් සංවර්ධනයට ඒ තුළ විශේෂ අවධානය යොමුකරන ලද බවත් අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේ ය.
තවත් නොබෝ දිනකින් පාසලට ඩිජිටල් ගුරුවරයෙක් ලබාදෙන බවත්, සියලු උසස් පෙළ සිසුන්ට හා ගුරුවරුන් වෙත ටැබ් පරිගණක ලබාදෙමින් ඉගෙනුම් ක්‍රියාවලියට තාක්ෂණය සෘජුව සහාය කරගැනීමට අවස්ථාව සලසා දෙන බවත් අමාත්‍යවරයා පැවසීය,
රොබෝ තාක්ෂණය පාසල් වෙත හඳුන්වා දෙමින් අනාගත වැඩ ලෝකය හා බද්ධ විය හැකි වෘත්තීය නිපුණතාවන්ගෙන් පිරුණු සිසුපරපුරක් නිර්මාණය කිරීම සහස්ර සංවර්ධන අරමුණු අතර පවතින ප්‍රධාන අරමුණකි.
රොබෝ තාක්ෂණය හඳුන්වාදීමේ මෙම වැඩසටහනේ පළමු අදියර යටතේ දිවයිනේ තෝරාගත් පාසල් 87කට රොබෝ තාක්ෂණ ප්‍රායෝගික ක්‍රියාකාරකම් පුහුණුවීමට අවශ්‍ය උපකරණ කට්ටල අද දින ලබාදුන් අතර, 2020 වසර වනවිට දිවයිනේ සියලු ම පාසල් තුළ මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත යි.
