රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභික නිලධාරීන් මහනුවරට පැමිණ මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැ දැක මහජනතාව අපහසුතාවයට පත්වී ඇති කරුණු තුනක් පදනම්ව එළැඹෙන 23 වැනි දින සිට කළු විරෝධතා සතියක් ප්‍රකාශයට පත් කරන බව දැනුම් දුන්නේය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභිකයන් සහ මහනුවර දිස්ත්‍රික්කයේ සංගම් සාමාජිකයන් සමඟ අද (19) පෙරවරුවේ මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැක උන්වහන්සේලා දැනුවත් කිරීමෙන් අනතුරුව එම සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මාධ්‍ය හමුවේ මෙසේ පැවසීය.
“අද අප මෙහි පැමිණියේ මේ රටේ ජනතාවට ඉතා ප්‍රබල ලෙස දැනෙන ප්‍රධාන ප්‍රශ්න තුනක් සම්බන්ධයෙන් මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැක උන්වහන්සේලා දැනුවත් කොට අප විසින් ජනතාව වෙනුවෙන් ගෙන යන සටනට මහ නායක හිමිපාණන් වහන්සේලා ගේ ආශිර්වාදය ලබා ගැනීමටයි.
අද වන විට රටට ම බලපා ඇති ඖෂධ අර්බුදය හමුවේ විශාල වශයෙන් ඖෂධ මිල ඉහළ යාම සහ ඖෂධ හිගය සෞඛ්‍ය ක්ෂේත්රයේ සිදුවෙමින් පවතින මහා පරිමාණ දූෂණ වංචා සහ රජයේ අත්තනෝමතික ලෙස ජනතාව පිට පටවා ඇති බදු බර සම්බන්ධයෙන් මහනාහිමි වරුන් දැනුවත් කිරීමට අප පියවර ගත්තා.
දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් මේ වනවිට එල්ල වී තිබෙන චෝදනා අතිශය බරපතළයි. මේ වන විට සෞඛ්‍ය ක්ෂේත්රයේ රුපියල් 100ට ගන්න තිබෙන ඖෂධයක් රුපියල් 1000-2000 වැනි මුදලකට දහගුණයකින් විසි ගුණයක් වැනි වැඩි මුදලකට ඖෂධ මිලදී ගැනීමේ ක්‍රියාවලියක් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. අප බංකොලොත් වු රටක් වශයෙන් ප්‍රකාශයට පත්කර තිබියදී තවදුරටත් හොරකම් කිරීම සම්බන්ධයෙන් දිගින් දිගටම චෝදනා එල්ල වෙනවා නම් එය කිසිසේත් අනුමත කළ නොහැකි දෙයක්.
අප මේ වංචා දූෂණ සහ අක්‍රමිකතා වලට එරෙහිව එළඹෙන 23 වැනිදා සිට සතියක කළු විරෝධතා සතියක් ප්‍රකාශයට පත් කරනවා. ඊට වෛද්‍යවරුන්ට අමතරව අනෙකුත් කාර්ය මණ්ඩල සහ අනෙකුත් වෘත්තීයවේදීන් ඊට සහයෝගය දක්වා තිබෙනවා. එය රටටම දැනෙන කළු සතියක් බවට අප පත් කරනවා.
ඖෂධ ප්‍රශ්නයට අමතරව මේ රටේ වෘත්තිකයන්ට පමණක් නොව සෑම සාමාන්‍ය ජනතාවටම දරා ගත නොහැකි ආකාරයට පටවා ඇති සාධාරණ සහ අත්තනෝමතික බදු ප්‍රතිපත්තිය නිසා ජනතාවගේ ලුණු ඇටයේ සිට සියලු ආහාර ද්‍රව්‍ය වල බදු පිට බදු ගසමින් වැට් බදු, සමාජ ආරක්ෂණ බදු කියමින් විවිධ බදු ගසමින් ජනතාව අපහසුතාවයට පත් කොට තිබෙනවා.
මේ සියලු බදු ගසමින් මේ රටේ වෘත්තිකයන්ට සේවා නියුක්ත බද්දකුත් ගසමින් මේ රටේ මාස් පඩි ගන්න සේවකයන් තවත් අපහසුතාවයකට පත් කොට තිබෙනවා.
මේ තත්වය හමුවේ වෘත්තිකයන් රට හැර යන තත්වයකට පත්ව තිබෙනවා . මේ බදු ප්‍රතිපත්තිය ඊට උත්තේජනය ලබා දෙමින් තිබෙනවා. මේ තත්වය හමුවේ සෞඛ්‍ය ක්ෂේත්රයේ පමණක් නොවෙයි විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ප්‍රකාශයට පත් කළා ඔවුන්ගේ ඉංජිනේරුවන් පමණක් නොවෙයි ඔහු යටතේ සිටින තාක්ෂණික නිලධාරීන් පවා රට හැර යමින් සිටින බව. මේ තත්වය හමුවේ වෘත්තිකයන්ගෙන් තොර කාන්තාරයක් බවට රට පත්වෙමින් තිබෙනවා.
මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා අප කළ පැහැදිලි කිරීම ඉතා සාවධානව ඇහුම්කන් දී සිටියා. උන්වහන්සේලා අපට දැනුම් දුන්නා සෞඛ්‍ය ක්ෂේත්රයේ දැනට උද්ගතව ඇති තත්වය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා කැඳවා ඖෂධ ප්රශ්නය විසදීම සඳහා මීට වඩා දායකත්වයක් ලබා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෘජු මැදිහත්වීමක් සිදු කරන ලෙස දැනුම් දීමට.
මේ වන විට මේ රටේ දේශපාලකයන් පිළිබඳව රටේ ජනතාවට තඹ දොයිතුවකවත් විශ්වාසයක් නැහැ. විවිධ අමාත්‍යවරුන් විවිධ අවස්ථාවලදී විවිධ ප්‍රකාශ කොට තිබෙනවා . නමුත් එම කිසිම පොරොන්දුවක් මෙතෙක් ඉෂ්ට කර නෑ. බෙහෙත් ප්රශ්නය මාස තුනෙන් විසඳනවා කියා සෞඛ්‍ය අමාත්‍යවරයා කිව්වත් ඒ සඳහා ප්‍රකාශ නිකුත් කරනවට වඩා වැඩපිළිවෙළයි ඉදිරිපත් කළ යුත්තේ.
ඒ ප්‍රශ්නයෙන් ගොඩ එන්න දසවැදෑරුම් වැඩපිළිවෙළක් අප ඉදිරිපත් කොට තිබෙනවා . නමුත් කණගාටුවට කාරණය වී තිබෙන්නේ වැඩපිළිවෙළේ තිබෙන 10 න් එකක්වත් මේ වන තුරුත් ක්‍රියාත්මක කිරීමට උත්සාහ නොකිරීමයි. මේ වන විට ග්‍රාමීය රෝහල් වලට වඩා පර්යන්ත රෝහල් වල වෛද්‍ය හිගය සහ ඖෂධ හිගය තදබල ලෙස දැනෙමින් තිබෙනවා"