යාල ජාතික උද්‍යානයේ කලාප අංක තුන කොටසට ඇතුළුවී නීතිවිරෝධි ක්‍රියාවක නිරතව සිටි සන්නද්ධ කල්ලියක සාමාජිකයෙක්ව සිටිමින් එහි ගිය වනජීවී නිලධාරින්ට වෙඩි තැබූ බවට සැකකරන පුද්ගලයෙක් හම්බන්තොට රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගන්නා බවත් ඔහු අත්අඩංගුවට ගැනිමට ක්‍රියා කරන බවත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් අද (26) පැවසීය.
බුත්තල කතරගම පාරෙන් ඇතුළුවීමට ඇති යාල ජාතික උද්‍යානයේ කලාප අංක 03 ගල්ගේ ප්‍රදේශයේ මැණික් ගඟ ආසන්නයේ දී ඊයේ (25) දා සවස කතරගම වනජීවී අඩවි කාර්යාලයේ නිලධාරීන් පිරිසක් මුර සංචාරයේ නිරතව සිටිය දී සන්නද්ධ කණ්ඩායමකගේ වෙඩි ප්‍රහාරයකට ලක්ව ඇති බව ද එම නිලධාරියා පැවසීය.
වනජීවී නිලධාරීන්ගේ ප්‍රතිප්‍රහාර හමුවේ සන්නද්ධ කණ්ඩායම පළාගොස් ඇත. කතරගම වල්ලිමාතාගම පදිංචි පුද්ගලයෙක් වෙඩි වැදීමෙන් ලද තුවාල හේතුවෙන් රෝහල්ගත කර ඇති බවට ලද තොරතුරක් ඔස්සේ කළ විමර්ශනයකදී හම්බන්තොට රෝහලේ ප්‍රතිකාර ලබන තැනැත්තා සම්බන්ධයෙන් දැන ගන්නට ලැබුණ බවද එම නිලධාරියා සඳහන් කළේය.
වනජීවී නිලධාරීන්ට වෙඩි තැබූ සන්නද්ධ කණ්ඩායම යාල වනෝද්‍යානයේ මැණික් ගඟ ප්‍රදේශයේ මැණික් ගැරිමේ සහ වනසතුන් දඩයම් කිරීමේ යෙදී සිටින්නට ඇතැයි වනජීවී නිලධාරීන් සැකකරයි. මුර සංචාරයේ පැමිණි නිලධාරීන්ගෙන් බේරි පළායාමට නිලධාරීන්ට වෙඩිතබන්නට ඇතැයි ද සැකකරයි.
හම්බන්තොට රෝහලේ ප්‍රතිකාර ගන්නා තැනැත්තා මෙම ප්‍රහාරයට සම්බන්ධ බවට සැක කළ හැකි බව පැවසූ එම නිලධාරියා ඔහු සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කර ඉදිරි විමර්ශන පවත්වන බව ද සඳහන් කළේය.
වනෝද්‍යානය තුළ සන්නද්ධ කල්ලියේ වෙඩි ප්‍රහාරයෙන් වනජීවී නිලධාරීන්ට අනතුරක් නැති බවද එම නිලධාරියා පැවසුවේය.
