රටට සහ වත්මන් රජයේ වැඩපිළිවෙලට පොහොට්ටුව ලකුණ හැර කිසිදු ලකුණක් නොගැළපෙන බවත්, මේ වනවිට පොහොට්ටුව ලකුණ රටම හඳුනාගෙන ඇති බැවින් බහුතර කැමැත්තට ඉඩ ලබා දිය යුතු බවත්, නිවාස පහසුකම් රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය.
පසුගිය ආණ්ඩුවේ හොරකම් කළ අය අද කෑගැසුවට, වත්මන් රජයේ කිසිදු කෙනෙක් මහබැංකු බැදුම්කර හොරකමට සම්බන්ධ නොමැති බවත්, එයට සම්බන්ධ වූයේ හිටපු ආණ්ඩුවේ අගමැතිතුමා, ජනාධිපති අපේක්ෂකතුමා ඇතුළු පිරිස බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
මෙරට 69 ලක්ෂයක් ජනතාව සජිත් ප්‍රේමදාස මහතාව ප්‍රතික්ෂේප කර ඇති බැවින් ඔහු අසාදු ලේඛණගත වු චරිතයක් වන බවත්, පොහොට්ටුව වැනි නැවුම් පක්ෂයකට හෝ ගෝඨාභය රාජපක්ෂ වැනි නැවුම් ජනාධිපතිවරයෙකුට සජිත් ප්‍රේමදාස ළඟින්වත් තැබිය නොහැකි බව අමාත්‍යවරයා මෙහිදි සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව කියාසිටියේ ගම්පහ, අත්තනගල්ල, රන්පොකුණුගම ගුරු ගම්මානයේ පවුල් සදහා රුපියල් මිලියන 14.75 ක් වටිනා නිවාස ණය හා ආධාර ප්රදානය කිරීමේ අවස්ථාවට අද (03) දින සහභාගී වෙමිනි.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“පසුගිය රජය ගුරුවරුන්ට නිවාස ලබා දෙනවා කියා සිදු කර ඇත්තේ ඔවුන්ව මුලා කිරිමයි. එහි සැබෑ අරමුණ වුණේ ප්‍රචාරය ලබාගැනීම පමණයි. ප්‍රචාරය ලබා ගැනීම උදෙසා ගුරුවරුන් අසරණ කර තිබෙනවා. එසේ අසරණභාවයට පත්වුණු සියලුම දෙනා වෙනුවෙන් ජනාධිපතිතුමා, අගමැතිතුමා ඇතුළු වත්මන් රජය පෙනී සිටිනවා. පසුගිය රජය ගුරුවරුන් යොදාගෙන දේශපාලනය සිදු කළාට, අද අපි එය සිදු කරන්නේ නැහැ.
පාර්ලිමේන්තුවේ කතානායක ධූරය දරන්නේ එජාපයේ නිලතල දරන කරූ ජයසූරිය මහතායි. එතුමාට පුළුවන් බැදුම්කර වෝහාරික වාර්තාව හමස් පෙට්ටියට දමා පරිස්සම් නොකර එළියට ඉදිරිපත් කරන්නට. නමුත් ඔහු එය කරන්නේ නැහැ. ඊට හේතුව ඒ තුළ හිටපු අගමැතිතුමා, මලික් සමරවික්‍රම, කබීර් හෂීම් ඇතුළු පිරිසට භයානක ප්‍රතිඵල තියෙනවා. එජාපයේ ඉහළ සිටින බොහෝ දෙනෙක් මේ බැදුම්කර වෝහාරික වාර්තාවෙන් වැරදිකරුවන් වී තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් අය හිතන් ඉන්නවා, බැදුම්කර වෝහාරික වාර්තාව ඉදිරිපත් කළාම නායකත්වය වෙනස් වෙයි කියා. අපට කොයි නායකයත් එකයි. පසුගිය ආණ්ඩුවේ නිවාස අමාත්‍යංශය භාර ඇමතිවරයා, වත්මන් විපක්ෂ නායකතුමා කටයුතු කර තිබෙන්නේ වගකීම් විරහිතවයි. සම්පූර්ණයෙන් රාජ්‍ය දේපළ විනාශ කර, ජන ජීවිතය අවුල් කර, රැකියා විරහිතභාවයට පත්කර තිබෙනවා. එතුමගේ නායකයත් කටයුතු කර ඇත්තේ එලෙසයි. එම නිසා ඒ හොරා අයින් කරන්න මේ හොරා ගෙනත් වැඩක් නැහැ. අද රට ගෙනියන්න පුළුවන් නායකත්වය කවුද කියා රටේ ජනතාව තීන්දු කර තිබෙනවා. එජාපයේ අභ්‍යන්තර ප්‍රශ්න දෙස අප බලන්නේ නැහැ. එය ඒ අයගේ ප්‍රශ්නයක්.
එක්සත් ජාතික පක්ෂය වටා අද ජනතාව නැහැ. ආගම්වාදය, ජාතිවාදය ඕනෑම තැනක තිබෙනවා. එජාපය තුළ ඇත්තේද පක්ෂ අන්තවාදයයි. ටික දෙනෙක් හැරුණු විට රටට සහ ජාතියට ආදරය කරන බොහෝ පිරිසක් අද ආණ්ඩුව ගෙනියන්න සහයෝගය ලබා දෙන්න එකතු වි සිටිනවා. අපිට පාර්ලිමේන්තුවේ 2/3 ක බලය ලබා ගන්න පුළුවන්. එජාපයේ මෙන් අපේ පක්ෂය තුළ නායකත්වය ගැන ප්‍රශ්න නැහැ. වත්මන් ජනාධිපතිතුමා සහ අගමැතිතුමා 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට උපරිමයෙන්ම ගැළපෙනවා. එතුමන්ලා දෙදෙනා අද රට හරි තැනට ගෙන යමින් සිටිනවා” යනුවෙන් වැඩිදුරටත් පැවසීය.
