මේ ආණ්ඩුව බලයට ආපු දවසෙ ඉඳලා මහජනතාවට දුන්න පොරොන්දු එකින් එක කඩන්න පටන් ගත්තා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (20දා) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ බලමණ්ඩල සහ තරුණ සමුළුවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,
“නොමිලේ වයිෆයි දෙනවා කිවුවා දැන් කෙහොමද සීයක් ෆෝන් එකට දැම්මොත් පනස් දෙකක් කැපෙනවා. ටෙලිවිෂන් එකේ ඇඩ් එකක් ගියා නංගිට කාර් එකක් දෙනවා කියලා. අන්තිමට දැන් නංගිට බස් එකේ යන්නත් බෑ. බස් ගාස්තු වැඩි කරලා. දැන් ජිම් සෙට් එකක් දෙනවලු. දුන්නොත් නම් ගන්න. එක අගමැති තුමාට ගෙදර තියාගෙන ඉඳලා වැඩක් නැහැනෙ. ඡන්දෙට තව මාස දෙක තුනකුත් තියෙනවා. අවුරුදු හතරහමාරක් නොදුන්න එක දැන්වත් ගෙනත් දෙන්න කියලා කියනවා.
මේ ආණ්ඩුව අමූලික වශයෙන් ජනතාව නොමඟ යැව්වා. අද අවුරුදු 20ත් 35ත් අතර තරුණයන්ගේ විරැකියාව 16% ඉක්මවලා ගිහින් තියෙනවා. කර්මාත්ත ශාලා වැහෙනවා. ආයතන වහලා පිටරටවලට ගෙනි යනවා. අලුතින් ආයතන මෙරටට එන්නෙ නෑ. මොකද බදු බර වැඩියි. තැඹිලිගෙඩියටයි, බුලත් විටකටයි බදු ගහන ආණ්ඩුවක්. ව්‍යාපාරිකයන්ට බදු සහන දුන්නට ගමේ ව්‍යාපාර කරන වෙළෙන්දාටත්,මහජනතාවටත් බදු පිට බදු ගහනවා.
අයවැය ගෙනාවට පස්සේ තමයි අයවැය ගෙනාපු මුදල් ඇමතිගෙ ගෙදරටත් බදු වදිනවා කියලා දැනගත්තේ. හැබැයි පස්සේ ඒ බද්ද ඉවත් කරලා. හැබැයි ඒ වුණාට බුලත්විට විකුණන කෙනාගෙ බද්ද ඉවත්වෙලා නෑ. තැඹිලි ගෙඩියට ගහන බද්ද ඉවත්වෙලත් නෑ. පොඩි මිනිහාට බදුබර වැඩිවෙලා. ඒ විතරක් නෙමෙයි ආර්ථිකය කඩා වැටිලා. මහබැංකු වංචාවේ සිට පටන් ගත්ත පොලී අනුපාතය අද අහස උසට ගිහිල්ලා. තරුණයන්ට බැංකුවකින් ණයක් අරන් ව්‍යාපාරයක් කරගන්න විඳියක් නෑ. මහා දැවැන්ත ව්‍යාපාර කඩා වැටෙනවා. සංචාරක ව්‍යාපාරය සමතලා කරල දාලා. ඔවුන්ගේ ණය ගෙවා ගන්න විදියක් නෑ.
ඉතින් ගොඩක් ව්‍යාපාර විකුණලා දාලා. තවත් ව්‍යාපාර වහලා දාලා. ඒ විතරක් නෙමෙයි අධ්‍යාපනය කඩා වැටිලා. ගුරු හිඟයක් ඇති වෙලා. හදාගෙන ආපු මහින්දෝදය විද්‍යාගාර නැවැත්තුවා. තාක්ෂණ පීඨ නැවැත්තුවා. ඒ විතරක් ද,මේ අවුරුද්දේ විශ්ව විද්‍යාලයට ගන්නේ ළමයි 28,000යි. මහින්ද රාජපක්ෂ මහත්තයාගෙ ආණ්ඩුව අවසාන කාලේ 34,000ක් ගත්තා. විශ්ව විද්‍යාලෙට යන ළමයිගේ ගැටලු වලට ඇහුම්කම් දෙන්න අද ඇමතිවරයෙක් නෑ. ගැටලු කියන්න එන ශිෂ්‍යයන්ට කඳුළු ගෑස් ගහලා එලවනවා. ඒක අද ආණ්ඩුව සාමාන්‍ය දෙයක් කරගෙන. මේ අවුරුදු හතරහමාරට ඇමතිවරු තමන්ගේ දේවල් කතාකරනවා ඇරෙන්න මහජන ප්‍රශ්න කතා කළේ නෑ.
අද එක්සත් ජාතික පක්ෂයට ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු හොයාගන්න එක ප්‍රශ්නයක් වෙලා. පිල් බෙදිලා ගහගන්නවා. ඒ විතරක් නෙමෙයි අද නෝනලාත් ඇවිත් කියනවා එයාගෙ මහත්තයා තමයි අපේක්ෂකයා කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියනවා අපිත් ඒකෙන් ඉල්ලන්න ඕනි කියලා. අපි පැහැඳිලිව කියනවා අපි ඉල්ලන්නේ පොදුජන පෙරමුණෙන් කියලා. අපි 2015දි පොහොට්ටුව හදපු වෙලාවෙමයි කිව්වෙ පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක් දානවා කියලා. අපි එන්නේ වැඩපිළිවෙලක් එක්ක. අපි දේශපාලන පළිගැනීම් කරන්න නෙමෙයි එන්නේ. අපිට රටේ ආර්ථිකය හදන්න සැලැස්මක් තියෙනවා. මේ රටේ විරැකියාව නැති කිරීමේ වැඩසටහනක් අපිට තියෙනවා.ආයෝජකයෝ රටට ගේන්න වැඩසටහනක් තියෙනවා. සංචාරක කර්මාන්තය ලක්ෂ 20 දක්වා වැඩි කරන්න වැඩපිළිවෙලක් තියෙනවා. නිවාස ප්‍රශ්නයට,පාසල් හා විශ්ව විද්‍යාල ප්‍රශ්නයට තිරසාර විසඳුමක් දෙන වැඩපිළිවෙලක් අපිට තියෙනවා. ඒ වගේම මේ රටේ තරුණ තරුණියන්ට කාටවත් අතනොපා එන එන ආණ්ඩුවලට කඩේ යන්නැතුව ගෞරවාන්විතව ජීවත්වෙන්න වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කරනවා” යනුවෙන් පැවසීය.
