මුල් මාස 9 අපනයන ආදායම ඩොලර් බිලියන 13.6යි
2026 වසරේ මුල් මාස නවය තුළ ශ්රී ලංකාවේ සමස්ත අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 13.61ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා පවසයි.
එය 2025 වසරේ අනුරූප කාලසීමාවේ වාර්තා වූ ඇමෙරිකානු ඩොලර් බිලියන 12.96ක ආදායමට සාපේක්ෂව 5.04%ක වර්ධනයක් බව ද ඒ මහතා සඳහන් කළේය.
සභාපතිවරයා මේ බව ප්රකාශ කළේ අද (26) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්ය හමුවකට එක්වෙමිනි.
වෙළෙඳ භාණ්ඩ සහ සේවා අපනයන යන අංශ දෙකෙහිම වර්ධනය මෙම සාධනීය කාර්යසාධනයට දායක වී තිබේන බවද පැවසුවේය.
ශ්රී ලංකා රේගුවේ නවතම අපනයන කාර්යසාධන දත්ත සහ මැණික් හා ස්වර්ණාභරණ මෙන්ම ඛනිජ තෙල් නිෂ්පාදන අපනයනය සම්බන්ධයෙන් ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය ඉදිරිපත් කළ ඇස්තමේන්තුවලට අනුව 2026 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ භාණ්ඩ අපනයන ආදායම 5.35%කින් වර්ධනය වී ඇමෙරිකානු ඩොලර් බිලියන 10.76ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් 2025 වසරේ අනුරූප කාලසීමාවේදී එම ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 10.22ක් ලෙස වාර්තා වී ඇති බවත් සඳහන් කළේය.
සේවා අපනයන ආදායම ද 3.88%කින් වර්ධනය වී තිබේන බවත් 2025 වසරේ මුල් මාස නවයේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 2.74ක් වූ සේවා අපනයන ආදායම 2026 වසරේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 2.85ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් පැවසීය.
2026 සැප්තැම්බර් මාසයේදී ද සමස්ත අපනයන ආදායම කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර එය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.69ක් ලෙස වාර්තා වී තිබේ. 2025 සැප්තැම්බර් මාසයේදී වාර්තා වූ ඇමෙරිකානු ඩොලර් බිලියන 1.44ට සාපේක්ෂව එය 17.23%ක වර්ධනයකි.
මෙම මාසික වර්ධනය සඳහා ප්රධාන වශයෙන් දායක වී ඇත්තේ භාණ්ඩ අපනයන අංශයයි. එම අංශයේ ආදායම 2025 සැප්තැම්බර් මාසයේ වාර්තා වූ ඇමෙරිකානු ඩොලර් බිලියන 1.14ට සාපේක්ෂව 21.66%කින් වර්ධනය වී ඇමෙරිකානු ඩොලර් බිලියන 1.39ක් දක්වා ඉහළ ගොස් ඇත.
එමෙන්ම, සේවා අපනයන ආදායම ද 2025 සැප්තැම්බර් මාසයේ වාර්තා වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 304.14ට සාපේක්ෂව 0.67%කින් වර්ධනය වී 2026 සැප්තැම්බර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 306.17ක් ලෙස වාර්තා වී තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

