ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේදී රජයට රුපියල් කෝටි 68කට අධික පාඩුවක් සිදුවන අන්දමින් මහා පරිමාණ වංචාවක් සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කිරීම සඳහා පදනම් වන කරුණු ඇත්නම් දිවුරුම් ප්‍රකාශ මගින් අගෝස්තු මස 09 වැනිදාට පෙර ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයාට දැනුම් දුන් පළමු ස්ථිර විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය, සිංගප්පූරු පුරවැසියෙකු වන මෙම නඩුවේ 10 වැනි විත්තිකාර අජහාන් ගාර්දිය පුංචිහේවා නමැත්තාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියම කරමින් සිතාසි නිකුත් කළේය.
අර්ජුන් මහෙන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කරන ලෙසත්, පුංචිහේවා නමැත්තාට සිතාසි නිකුත් කරන ලෙසත් මෙම නඩුව කැඳවනු ලැබූ මීට පෙර අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා කළ ඉල්ලීමක් සලකා බැලූ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල එලෙස දැනුම් දුන්නේය.
මෙම නඩුව සඳහා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය නිකුත් කර තිබූ සිතාසිවලට අනුව මෙම නඩුවේ විත්තිකරුවන් දසදෙනාගෙන් හත්දෙනෙක් අධිකරණයේ පෙනී සිටියහ.
රජයට රුපියල් කෝටි 68කට අධික පාඩුවක් සිදුවූ මෙම බැඳුම්කර වංචාවෙන් රටේ ආර්ථිකයට සිදුවූ අහිතකර බලපෑම, බැඳුම්කර වංචාවේ බරපතළකම මෙන්ම සංකීර්ණත්වය සැලකිල්ලට ගනිමින් නීතිපතිවරයා මෙම නඩුව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ගොනු කර ඇත.
පළමු ස්ථිර ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ විනිසුරු මඬුල්ලේ විනිසුරුවරුන් වන සම්පත් විජේරත්න (සභාපති විනිසුරු), සම්පත් අබේකෝන් සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීහු මෙම නඩුවේ විනිසුරුවරු වශයෙන් කටයුතු කරති.
2015 පෙබරවාරි මස 27 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කොළඹදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකරන ලද භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවේදී භාණ්ඩාගාර බැඳුම්කර වංචා කිරීම සඳහා පොදු අරමුණක් සහිතව කටයුතු කිරීම, ඒ අනුව භාණ්ඩාගාර බැඳුම්කර වංචා කිරීම, එමගින් රජයට රුපියල් කෝටි 68කට අධික පාඩුවක් සිදුකිරීම, ඒ සඳහා අධාර අනුබලදීම ඇතුළු චෝදනා 23ක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා ඇත.
මෙලෙස චෝදනා නගා ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති ලක්ෂ්මන් අර්ජුන් මහෙන්ද්‍රන්, මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන පත්තිනිගේ සමරසිරි, පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම, එහි අධ්යක්ෂ අර්ජුන් ජෝශප් ඇලෝසියස්, එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් ඕෂධී පළිසේන, එහි සභාපති ජෙෆ්රි ජෝශප් ඇලෝසියස්, එම සමාගමේ සේවකයන් වන පුෂ්පමිත්ර ගුණවර්ධන, චිත්‍රා රංජන් හුලුගල්ල, මුත්තුරාජා සුරේන්ද්‍රන් සහ අජහාන් ගාර්දිය පුංචිහේවා නමැත්තන්ට එරෙහිවය.
විත්තිකරුවන්ට එරෙහි චෝදනා ඔප්පු කිරීම සඳහා සාක්ෂිකරුවන් 115 දෙනෙකු හා ලේඛන 236ක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව නීතිපතිවරයා අධිකරණයට දැනුම් දී ඇත.
මෙම නඩුව ස්ථිර ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී අධිකරණයෙන් නිකුත් කළ සිතාසිවලට අනුව මෙම නඩුවේ විත්තිකරුවෝ 07 දෙනෙක් අධිකරණයේ පෙනී සිටියහ.
නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී මීට පෙර දින කළ ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය ප්‍රකාශයට පත්කළ විනිසුරු මඬුල්ල, නඩු විභාගයක් ආරම්භයේදීම යම් විත්තිකරුවෙකුට වරෙන්තු නිකුත් කරන්නේ නම්, ඒ සඳහා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 73 වැන වගන්තියට අනුව යම්යම් කරුණු සම්පූර්ණ වී තිබිය යුතු බව සඳහන් කළ අතර, එවැනි කරුණු ඇත්නම් ලබන මස 09 වැනිදාට පෙර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පැමිණිලි පාර්ශ්වයට නියම කළේය.
විත්තිකරුවන් වන අර්ජුන් ඇලෝසියස්, ජෙෆ්රි ඇලෝසියස් සහ මුතුරාජා සුරේන්ද්‍රන් නමැත්තන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය අමතමින් තම සේවාදායකයන්ගේ මවු භාෂාව සිංහල නොවන හෙයින් ඔවුන්ට ලබාදී ඇති චෝදනා පත්‍රවල ඉංග්‍රීසි හා දමිළ පරිවර්තන ලබාදෙන්නැයි ඉල්ලා සිටියහ.
චිත්ත රන්ජන් හුළුගල්ල නමැති විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය අමතමින් තම සේවාදායකයා ඇමෙරිකානු එක්සත් ජනපදයේ උපන් අයෙකු බැවින් ඔහුට සිංහල තේරුම් ගැනීමේ අපහසුතාවක් පවතින බවත්, ඔහුටද චෝදනා පත්‍රයේ ඉංග්‍රීසි භාෂා පරිවර්තන පිටපතක් ලබාදෙන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එම ඉල්ලීම් පිළිගත් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා එම විත්තිකරුවන්ට ඉංග්‍රීසි සහ දමිළ භාෂා පරිවර්තන ලබාදීමට කටයුතු කරන බව දැනුම් දුන්නේය.
මෙම බැඳුම්කර වංචා සිද්ධියට අදාළව ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ පෙනී සිටි අර්ජුන් මහෙන්ද්‍රන් මහතා එහි සාක්ෂි දීමෙන් අනතුරුව 2017 ඔක්තෝබර් මස 13 වැනිදා විදේශ ගතවී ඇතැයිද පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා අධිකරණයට දැනුම් දුන්නේය.
ඔහු එලෙස විදේශගත වී ඇත්තේ ඔහුට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණයේ පැමිණිලි ගොනු කිරීමට පෙර බවත්, ඔහු අධිකරණයට ගෙන්වා ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය හරහා ‘%නිල් දැන්වීම්’ හා %‘රතු නිවේදන’ නිකුත් කළ බවත් පැවසූ ප්‍රියන්ත නාවාන මහතා, අනතුරුව අර්ජුන් මහෙන්ද්‍රන් මහතා ජාත්‍යන්තර පොලීසිය මාර්ගයෙන් රහස් පොලීසියෙන් ඉල්ලීම් කර ඇති බවත්, ඒ අනුවම ඔහු මෙම නඩුකරය සම්බන්ධයෙන් දැනුවත්ව සිට ඇති බව පැහැදිලි වන බවත් පවසා සිටියේය.
අර්ජුන් මහෙන්ද්‍රන් මහතා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා මේ වනවිටත් උදර්පන නීතීය අනුව අවශ්‍ය කටයුතු කර ඇති බවත්, එම කටයුතු වඩාත් සාර්ථක කර ගැනීම සඳහා අර්ජුන් මහෙන්ද්‍රන් මහතාට එරෙහිව වරෙන්තු නිකුත් වීම අත්‍යවශ්‍ය වී ඇති බවත් පැවසූ ප්‍රියන්ත නාවාන මහතා, අර්ජුන් මහෙන්ද්‍රන් මහතාට එරෙහිව වරෙන්තු නිකුත් කරන ලෙසත්, සිංගප්පූරු පුරවැසියෙකු වන මෙම නඩුවේ 10 වැනි විත්තිකාර අජහාන් ගාර්දිය පුංචිහේවා නමැත්තාට මෙම අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් සිතාසි නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියේය.
මෙම නඩුවේ විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නවීන් මාරපන මහතා සහ ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා කරුණු ඉදිරිපත් කරමින් තම සේවාදායකයන්ට ඇප නියම කරන්නැයි ඉල්ලා සිටියහ.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා කරුණු ඉදිරිපත් කරමින් විත්තිකරුවන්ට ඇප නියම කිරීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නැතැයි පැවසීය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අදාළ නියෝගයන් කළ විනිසුරු මඬුල්ල මෙම නඩුව අගෝස්තු මස 09 වැනිදා යළි කැඳවීමටද නියම කළේය.
පැමිණිල්ල වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල්වරුන් වන මිලින්ද ගුණතිලක, විරාජ් දයාරත්න, පාරින්ද රණසිංහ, හරිප්‍රියා ජයසුන්දර, ඩිලාන් රත්නායක, රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් වන ලක්මිණි ගිරිහාගම, නයෝමී වික්‍රමසේකර, උදාර කරුණාතිලක යන මහත්ම මහත්මීන් සමග අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා පෙනී සිටියේය.
විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ නවීන් මාරපන මහතා ඇතුළු නීතිඥ මඬුල්ල සමග ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා පෙනී සිටියේය.
