පරිසර අමාත්‍යවරයා ලෙස ජනාධිපතිතුමන් නිරන්තරයෙන් නිලධාරීන් දැනුවත් කරමින් පරිසර විනාශයන් අවම කිරිමට පියවර ගන්නා ලෙද දැනුවත් කළද, වැලි ජාවාරම් කරුවන් සුක්ෂම ලෙස නිලධාරින්ගේ ඇස්වලට වැලි ගසා පරිසරයට දැඩි විනාශයන් සිදු කරති.
මහියංගණ මහවැලි ගඟේද නිරන්තරයෙන් එවැනි වැලි ජාවාරම් සිදු කරමින් විශාල පරිසර හානියක් සිදු කරති. එවැනි ජාවාරමක් පිළිබඳ මහියංගණ පොලීසියට ලද තොරතුරක් අනුව ඊයේ (01) වැටලීමක් සිදු කරනු ලැබීය.
මහියංගණ 03 කණුව , 09 ඇළ ප්‍රදේශයේ මහවැගි ගඟේ බලපත්‍ර නොමැතිව වැලි කැණිම් සිදු කල 20 දෙනෙකු හා ට්‍රැක්ටර් 07ක් අත්අඩංගුවට ගත් බව මහියංගණ පොලීසිය පවසයි.
මහවැලි ගඟේ බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් වැලි කැණිම් සිදු කල මෙම පිරිස ට්‍රැක්ටර් මගින් කැණිම් සිදු කල වැලි ප්‍රවාහනය සිදු කරමින් සිට ඇති අතර වැලි ප්‍රවාහනය සඳහා එම ට්‍රැක්ටර් රථ සදහා බලපත්‍ර නොතිබූ බවද පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් හා ට්‍රැක්ටර් මහියංගණ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිත ඇති අතර එතෙක් අත්අඩංගුවට ගත් පුද්ගලයන් බැදුම්කරයක් මත මුදාහැර ඇත.