මිහින්තලය ප්‍රධාන පියගැට පෙළ ආසන්නයේ පිහිටි අනවසර වෙළදසැල් කිහිපයක් ආවරණය කිරීමට යොදා තිබූ ඉටිරෙදි ඉවත් කිරීමට ගිය පුරාවිද්‍යා නිලධාරින් පිරිසකගේ රාජකාරියට බාධා කළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මිහින්තලය ප්‍රාදේශිය සභාවේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙකු රුපියල් ලක්ෂය බැගින්වූ ශරිර ඇප දෙකක් මත මුදාහරින ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ මහතා නියෝග කළේය.
ලක්ෂය බැගින්වූ ශරිර ඇප දෙකක් මත මුදාහැරුනේ මිහින්තලය ප්‍රදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී ඉන්දික රාජපක්ෂ මහතායි.
ඇපමත මුදාහැරුණු ඒ මහතාට නැවතත් අගෝස්තු මස (21දා) අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස විනිසුරුවරයා නියෝග කළ අතර පැමිණිලි පාර්ශවයට කිසිදු බලපෑමක් සිදු නොකරන ලෙස ඇප නියම කරමින් නියෝග කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් මිහින්තලය පුරාවිද්‍යා කලාප නිලධාරියා විසින් මිහින්තලය පොලීසියට සිදුකල පැමිණිල්ලකට අනුව මිහින්තලය ප්‍රාදේශීය සභාව නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයාව පොලීසිය මගින් අත්අඩංගුවට ගත් බවත් පසුගිය (15දා) උදෑසන සිදුවීම සිදුවී තිබෙන බවත් පොලීසිය අධිකරණයට දන්වා සිටියේය.
අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයා සාපරාධි බලහත්කාරය පා රජයේ නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කිරිමේ චෝදනාවට අධිකරණයට ඉදිපත් කල බවත් පොලීසිය අධිකරණයට දැන්වුවේය.
පසුගිය (15දා) උදෑසන පුරාවිද්‍යා නිලධාරිවරයෙකු හා සේවකයන් පිරිසක් අනවසර වෙළඳසැල් කිහිපයක ඉටිරෙදි ගැලවීමට සූදානම් වූ අවස්ථාවේ මන්ත්‍රීවරයා එම ස්ථානයට ගොස් පුරාවිද්‍යා නිලධාරින් සමග බහින් බස්වීමක් ඇතිකර ගෙන නිලධාරියෙකු තල්ලු කර ඔවුන්ගේ රාජකාරියට බාධාකර තිබෙන බවත් සිද්ධියෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී නැති බවත් පොලීසිය වැඩිදුරටත් අධිකරණයට දැන්වූවේය.
එප්පාවල - තිසර සමල්