මුලතිව් ඔඩ්ඩුසුඩාන් ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ පේරාරු රක්ෂිත මායිමේ පිහිටි කුඹුරු වෙතට ජලය රැගෙන යන ඔයවල ජවාරම්කරුවන් විසින් අනවසර වැලි ගොඩදැමීම් හේතුවෙන් කුඹුරු වෙතට ජලය ලබාගැනීමට නොහැකිව ගොවීහු දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ පා සිටිති.
වැලි ජවාරම්කරුවන් විසින් සිදු කරන මෙම වැලි ගොඩදැමීම් සම්බන්ධයෙන් පොලීසියෙන් හෝ වනසංරක්ෂණයෙන් හෝ කිසිදු පියවරක් නොගැනීමෙන් කුඹුරු වෙතට ජලය ලබා ගන්නා ඔයවල් සියල්ල විනාශ වී යාමේ අවධානමක් ඇති බවටද ගොවීහු පවසති.
අදාළ ඔයවල වැලි කැනීම් සිදු කිරීම හේතුවෙන් එය දෙපස පිහිටි ගස් සියල්ලක්ම කඩා වැටී පරිසර විනාශයක්ද සිදු වන අතරම ජලය ගලා බැසීමද සම්පූර්ණයෙන්ම නවතින බවට ගොවීහු පෙන්වා දෙති.
ඉදිරියේදී යල්කන්නයට හෝ මහකන්නයට ඔය මාර්ගයෙන් ජලය ලබා ගැනීමට නොහැකි වී ඇති බවටත් පාරම්පරික ඔය පද්ධතිය විනාශ වීමෙන් ගොවිතැනටද බලපෑමක් එල්ල විය හැකි බැවින් වහාම අනවසර වැලි ගොඩදැමීම් නවතා දෙන ලෙසට ගොවීහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.