මත්ද්‍රව්‍ය ජාවාරම හේතුවෙන් රටේ සිදුවන මහා විනාශය වළක්වා ගැනීමට තම දේශපාලන ජීවිතය පුරා අඛණ්ඩව නායකත්වය ලබා දුන් බවත් මත්ද්‍රව්‍ය ජාවරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට ජනාධිපතිවරයා ලෙස තමා අත්සන් තැබූ නමුත් දේශපාලන භේදයකින් තොරව වගකිවයුතු පිරිස් ඊට එරෙහිව නැඟී සිටීම හේතුවෙන් එම වැඩපිළිවෙළ සාර්ථක කර ගත නොහැකි වූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
නමුත් තම අසීමිත කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස මත්ද්‍රව්‍ය මර්දනයේ සාර්ථක ප්‍රතිඵල රැසක් ඉකුත් වසර කිහිපය තුළ රටට ලැබුණු අතර කවුරුන් කෙසේ කීවද පසුගිය අප්‍රේල් 21 දා මුහුණදීමට සිදුවූ අවාසනාවන්ත සිදුවීම ද රට වෙනුවෙන් වූ එම වැඩපිළිවෙළ කඩාකප්පල්කිරීමට ගත් උත්සාහයක් බව තමා විශ්වාස කරන බවද ජනාධිපතිවරයා කියා සිටියේ ය.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද (04දා) පෙරවරුවේ කොළඹ නාලන්දා විද්‍යාලයේ පැවති උත්සවයක් අමතමිනි.
බ්‍රිතාන්‍ය මහරැජින විසින් ප්රදානය කරනු ලබන ගෞරවනීය විශිෂ්ට සේවා සම්මානයක් වන නයිට් පදවියෙන් පිදුම් ලද ආදි නාලන්දියෙකු වූ ශ්‍රී ලංකාවේ ශාන්ත ජෝන් සංවිධානය සහ මත්ද්‍රව්‍ය පිටුදැකීමේ ශ්‍රී ලංකා රාජ්‍ය නොවන සංවිධානයේ සභාපති වෛද්‍ය සරත් සමරගේ මහතාට උපහාර පිළිගැන්වීම වෙනුවෙන් මෙම උත්සවය සංවිධානය කර තිබිණි.
මෙරට වෛද්‍ය ක්ෂේත්රය වෙනුවෙන් සුවිශේෂ මෙහෙවරක් ඉටුකරන සරත් සමරගේ මහතා මත්ද්‍රව්‍ය භාවිතයන්ට එරෙහි ශ්‍රී ලංකා රාජ්‍ය නොවන සංවිධානයන්ගේ ඒකාබද්ධ සම්මේලනයෙහි නිවාරණ සංවිධානයේ සභාපති ධූරය දරමින් විශිෂ්ට සේවාවක නිරත වේ.
සෑම වසරකදීම විශිෂ්ට පුද්ගලයන්ගෙන් තෝරාගත් පිරිසක් ලැයිස්තුගත කර නයිට් පදවි පිරිනැමීම බි්රතාන්ය මහ රැජණ අතින් සිදු වන අතර මෙවර ලෝ පුරා විසිරි සිටින 20 දෙනෙක් වෙනුවෙන් එම පදවිය ප්රදානය කෙරිණි.
මෙවර නයිට් පදවියෙන් පිදුම් ලැබු එකම ආසියානු වැසියා ලෙස වෛද්‍ය සරත් සමරගේ මහතා ශාන්ත ජෝන් පර්ෂදයෙහි නයිට් පදවිය දිනා ගනු ලැබීය. එමෙන්ම ඒ මහතා 2019 සැප්තැම්බර් 19 වැනි දින ලන්ඩන් නුවර ශාන්ත ජෝන් දෙවස්ථානයෙහි හෝල්ස්ටර්හි ආදිපාදවරයා වෙතින් ද ගෞරවයට පාත්‍ර විය.
