ඉන්දියාව තුළ අඩ සියවසකට වැඩි කලක් ගීත 40,000කට වඩා ගායනා කරමින් ලෝක වාර්තාවක් බිහිකළ ජනප්‍රිය ඉන්දීය ගායක එස්පී බාලසුබ්රමනියම් කොවිඩ්-19 වෛරසය හමුවේ දිවිගමනට සමුදෙන විට සමස්ත බොලිවුඩ් පුරයම හඬා වැටෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ප්‍රේම ගීත සහ ජනප්‍රිය නර්තන ගීත ඇතුළු ඉන්දීය සිනමාවේ ජනප්‍රියම ගීත ගණනාවක්ම භාෂා 16කින් ගායනා කර ඇති ඔහු, මිය යනවිට 74 වෙනි වියේ පසුවිය.
කොවිඩ්-19 ආසාදිතව දින කිහිපයක් දැඩි සත්කාර ඒකකයේ සිටි ඔහු, මුලින් රෝගය සුව වූ බවට ලක්ෂණ පෙන්නුම් කළත්, දිගින් දිගටම දැඩි සත්කාර ඒකකයේ තබාගෙන තිබුණේ පැවති සංකූලතා හේතුවෙනි.
SPB නමින් ප්‍රකට ඔහු, දකුණු ඉන්දීය දෙමළ සහ තෙළුගු සිනමාවෙන් සිය ගීත චාරිකාව ආරම්භ කළද, පසුකාලීනව බොලිවුඩ් සිනමාවේ සාර්ථක වූ ප්‍රථම දකුණු ඉන්දීය ගායකයා බවට පත්විය.
දකුණු ඉන්දීය උච්චාරණයක් ඇති ශිල්පියෙකු වුවද බොලිවුඩ් පුරවරයේ ජනප්‍රියම තාරුකාවක් බවට පත්වූ බාලසුබ්රමනියම්, බොලිවුඩයේ ප්රමුඛ පෙළේ නළුවන් රැසකගේ ගායන හඬ බවට පත්විය.
1946 දී ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ නෙල්ලෝර් හි මධ්‍යම පාන්තික පවුලක උපත ලැබූ බාලසුබ්රමනියම්ගේ පියාද ගායකයෙකු වූ නමුත් ඔහු ශාස්ත්‍රීය සංගීතය ඉගෙනීමට යොමු නොවීය. ඒ වෙනුවට මදුරාසිය වෙත ගිය තරුණ බාලසුබ්රමනියම්, සිය මිතුරන් සමග එක්ව සංගීත කණ්ඩායමක් නිර්මාණය කළ අතර, පසු කලෙක ඉන්දියාවේ ප්රමුඛ පෙළේ සංගීත ශිල්පියෙකු බවට පත් වූ ඉලෙයිරාජා ඒ කණ්ඩායමේ ගිටාර් වාදකයා විය.
එවක ප්‍රදේශයේ සිනමා සංගීත ශිල්පීන් විසින් ඔහුගේ දක්ෂතාව හඳුනාගන්නා විට ඔහු උසස් අධ්‍යාපන ආයතනයක ඉංජිනේරු විද්‍යාව හදාරමින් සිටියද, පසුව ඉංජිනේරුවෙකු වීම අත්හැර දැමූ ඔහු ගායනය තෝරා ගත්තේය.
1969 දී දෙමළ සිනමාවේ සුපිරි නළු එම්ජී රාමචන්ද්‍රන් වෙනුවෙන් ගීත ගායනය කිරීමත් සමග දකුණු ඉන්දීය සිනමාවේ ඔහුගේ ප්‍රථම සන්ධිස්ථානය සනිටුහන් විය.
වසංගත තත්ත්වය නොතකා ඔහුට අවසන් ගෞරව දැක්වීමට විශාල ජනතාවක් එක්රැස් වීම වසංගතයේ අවදානම තවදුරටත් තීව්ර කළ අවස්ථාවක් ලෙසටද විදෙස් පුවත් වාර්තා කළේය.