මිනී මැරුම් සිද්ධියකට අදාළව රිමාන්ඞ් භාරයේ පසුවෙද්දී වැලිකඩ බන්ධනාගාරය තුළදී හෙරොයින් ළඟ තබාගැනීමේ චෝදනාවකට වරදකරුවු කුඩු ජාවාරම් කරුවකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ජිවීතාන්තය දක්වා වු බරපතළ වැඩ සහිත සිරදඩුවම් නියම කළේය.
නඩු විභාගය අතුරතුරදී අධිකරණය මඟහැර පළාගොස් සැඟවී සිටින විත්තිකරු අත්අඩංගුවට ගන්නා ලෙස නියම කළ විනිසුරුවරයා ඒ සඳහා විවෘත වරෙන්තු නිකුත් කළේය.
හෙරොයින් නිසා සමාජය මහත් ඛේදජනක තත්ත්වයකට මුහුණ පා ඇති බව පෙන්වා දුන් විනිසුරුවරයා ඒ තත්ත්වයෙන් සමාජය මුදා ගැනීම සඳහා සමාජයට ආදර්ශයක් වන අන්දමට විත්තිකරුවන්ට දැඩි දඩුවම් නියම කරන බව විත්තිකරුට දඩුවම් නියම කරමින් විනිසුරවරයා සඳහන් කළේය.
චෝදනාවන්ට වරදකරුවීම නිසා මෙලෙස දඩුවම් නියම කරන ලද්දේ පී.එම්. නිමේෂ සුජිත් පෙරේරා නමැත්තාටය.
2008 ඔක්තොම්බර් මස 11 වැනිදා හෝ ඊට ආසන්න දිනයක වැලිකඩ බන්ධනාගාරය තුළදී හෙරොයින් ග්‍රෑම් 3.08 ක් ළඟ තබා ගැනීම යටතේ විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා නඟා තිබිණි.
මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයේදී වැලිකඩ බන්ධනාගාරයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව වැලිකඩ බන්ධනාගාරය තුළ සිදුකළ මෙහෙයුමකදී මෙම විත්තිකරු පරීක්ෂාවට ලක් කොට ඇති බවත් ඒ අවස්ථාවේ විත්තිකරු ඇඳ සිටි කලිසමේ රහසිගත වාටියක් තුළ හෙරොයින් තොගය සුක්ෂම අන්දමින් සඟවාගෙන සිටියදී බන්ධනාගාර නිලධාරීන් විසින් සොයාගෙන ඇති බවත් නඩු විභාගයේදී හෙළි විය.
ඒ අවස්ථාව වනවිට මෙම විත්තිකරු මිනීමැරුම් සිද්ධියකට අදාළව රිමාන්ඞ් භාරයේ පසුවී ඇතැයිද ඔහු එසේ සිටියදී මෙම වරදට කොටු වී ඇතැයිද පැමිණිල්ල මෙහෙයවනු ලැබු ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ නිරාෂා ජයරත්න මෙනවිය නඩු විභාගයේදී හෙළි කළාය.
බන්ධනාගාර නිලධාරීන් විසින් සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 24.720ක් සොයා ගෙන ඇති බවත් එම හෙරොයින් පරීක්ෂාවට ලක් කළ රජයේ රස පරීක්ෂවරයා එහි ශූද්ධ හෙරොයින් ග්‍රෑම් 3.08 ක් ඇති බව දැනුම් දී තිබු අතර මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයේදී විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළ විනිසුරුවරයා විත්තිකරුට ජිවීතාන්තය දක්වා වු බරපතළ වැඩ සහිත සිරදඩුවම් නියම කළේය.
මෙම නඩුව විභාග වන අතර මිනීමැරුම් සිද්ධියකට අදාළව ඇප නියම වීමෙන් අනතුරුව විත්තිකරු ඇප මත මුදාහළ පසු ඔහු අධිකරණයට ඉදිරිපත් නොවීම නිසා ඔහු නොමැතිව නඩුව විභාග කොට ඔහුට මෙලෙස ජිවිතාන්තය දක්වා වු බරපතළ වැඩ සහිත සිරදඩුවම් නියම කළේය.
පැමිණිල්ල වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ නිරාෂා ජයරත්න මෙනවිය පෙනී සිටියාය.
