සිංගප්පූරු ආයෝජන සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (22දා) කළ ප්‍රකාශය ජනතාව නොමග යැවීම සඳහා ගත් උත්සාහයක් බව අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා සඳහන් කළේය.
තමා කිසිවිටෙකත් ඇමෙරිකානු ඩොලර් බිලියන 16ක ආයෝජන පැමිණ ඇති බවට සඳහන් නොකළ බවද ඔහු සඳහන් කළේය.
එහිදී ඒ මහතා වැඩිදුරටත් මෙසේ සඳහන් කළේය.
“මා පාර්ලිමේන්තුවේදී සිදුකරන ලද ප්‍රකාශය හැන්සාර්ඩ් වාර්තා ගත වී ඇති හෙයින් මේ පිළිබඳව සත්‍ය තොරතුරු ඕනෑම අයෙකුට පරීක්ෂා කර බැලිය හැක. එහිදී මවිසින් සඳහන් කෙළේ, මෙම ගිවිසුමට එළඹීම නිසා දැනටමත් අපට විදේශ ආයෝජන සම්බන්ධයෙන් යෝජනා රාශියක් ලැබී ඇති අතර, පසු ගිය මාස දෙකහමාර ඇතුළතදී පමණක් ඇමෙරිකානු ඩොලර් බිලියන 16කට වැඩි ඍජු ආයෝජන සඳහා වන යෝජනා සිංගප්පුරු සමාගම්වලින් ලැබී තිබෙන වගය.
මගේ කතාවේ කිසි තැනක ඇමෙරිකානු ඩොලර් බිලියන 16ක ආයෝජනයක් මේ වන විට ලංකාවට ලැබී ඇතැයි සඳහන් නොවේ. මෙම යෝජනා අතර 100% ක් අපනයනය අරමුණු කරගත් ඇමෙරිකානු ඩොලර් බිලියන 14.8ක ආයෝජනයක් සහිත තෙල් පිරිපහදු සංකීර්ණයක්, ඩොලර් බිලියනයක ආයෝජනයක් සහිත, අපනයනය ප්රමුඛ කොටගත් වානේ නිපදවන කර්මාන්ත ශාලාවක් සහ අනුපිළිවෙළින් ඩොලර් මිලියන 50ක් සහ 200ක් වූ ආයෝජන සහිත තිරිඟු පිටි සහ සීනි පිරිපහදු සංකීර්ණ සඳහා වූ යෝජනා ඇති බවද මවිසින් පැහැදිලි කරන ලදී.
එලෙසම, මෙම යෝජනා සියල්ලේම එකතුව ඩොලර් බිලියන 16කට වඩා අධික වන අතර ඒ සඳහා වූ මූලික අවසරය ආයෝජන මණ්ඩලය මේ වන විටත් ලබාදී ඇති අතර මෙකී ව්‍යාපෘතිවලට අවශ්‍ය ඉඩම් නිදහස් වූ පසු සහ නිසි පාරිසරික බලපෑම් ඇගයීමේ අධ්‍යයනයකට පසු එම ව්‍යාපෘති ආරම්භ කිරීමට හැකි වන බවද මවිසින් වැඩි දුරටත් පැහැදිලි කරන ලදී.
මවිසින් විස්තරාත්මකව ඉදිරිපත් කරන ලද එම ප්‍රකාශය, සිංගප්පුරු ගිවිසුම හරහා මේ වන විටත් ඇමෙරිකානු ඩොලර් බිලයන 16ක ආයෝජන මෙරටට පැමිණ ඇති බවට මා ප්‍රකාශ කළා යැයි විකෘති කර දැක්වීම සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ ජනතාව නොමග යැවීම පිණිස හිතා මතාම කරන ලද සාවද්‍ය ප්‍රකාශයක් ලෙස හඳුන්වනු කැමැත්තෙමි.”
