කර්මාන්තකරුවාට සහ ව්‍යවසායකයාට ශක්තිමත්ව නැගී සිටීමට නම් මෙරට බැංකුවල ප්‍රතිපත්ති - ආකල්ප බරපතළ ලෙස වෙනස් විය යුතු බවත් ඒවා සැබෑ ලෙසම සිය සේවාදායකයාට සුහද හදකින් යුතුව සේවය සැලසිය යුතු බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී පැවැති ‘සිටුවර ජයබල ව්‍යාපාර සහයෝගිතා සංවිධානයේ’ දෙවැනි මහා සම්මේලනයේ ප්‍රධාන දේශනය සිදු කරමින් ඒ මහතා මෙසේ පැවසීය.
“මෙහි සිටින ව්‍යාපාරික ප්‍රජාවේ මතු වී තිබෙන ගැටලු ඒ ඒ යුගවල රට පාලනය කරපු පාලන තන්ත්රයන් ගත් තීන්දු තීරණ අනුව ඇති වූ ඒවායි. කොවිඞ් වසංගතය හමුවේ ඉන්දියාව වසංගත තත්ත්වයෙන් අසරණ වෙලා තියෙන අයුරු දුටුවාම ඇමරිකා එක්සත් ජනපදය පත්වෙලා තිබෙන අර්බුදය දුටුවාම, ලෝකයේ බොහෝ රටවල් අසරණව සිටින ආකාරය දිහා බැලුවාම කොවිඞ් 19 වසංගතයෙන් ශ්‍රී ලංකාවේ වෙසෙන අපි, සැලකිය යුතු දුරකට මිදෙන්න වාසනාවන්ත වෙලා තියෙනවා.
වසංගත තත්ත්වයක් පාලනය කරගන්න පුළුවන් නායකත්වයක් යටතේ මේ රට පවත්වාගෙන යන්න හැකිවීම ඊට හේතුව වෙලා තියෙනවා. පසුගිය ආණ්ඩු සමයේ මෙම කොවිඞ් වසංගතය පැමිණියා නම් අපිට මුහුණ දෙන්න වෙන්නේ හිතකර වාතාවරණයකට නොවෙයි. මේ හැම දෙයකින්ම අවධාරණය කරන්නේ, ‘රටක ව්‍යාපාර හෝ වෙනත් කටයුතුවල සාර්ථකත්වය, ප්රගමනය තීරණය වෙන්නේ රාජ්‍ය පාලනයේ ස්වභාවයට සාපේක්ෂව මිසක් ඊට පටහැනිව නොවෙයි’ කියලයි.
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව මේ රටේ ඇතිවුණු වාතාවරණයත් සමගම ඇතැම් බදු ප්‍රතිපත්ති අනුව ව්‍යාපාර කරගෙන යාමට බැරි වාතාවරණයකට ලක්වුණා. 2019 නොවැම්බර 16 වැනිදායින් පසුව ව්‍යාපාරිකයා යන්තම් හිස ඔසවාගෙන එනකොට කොවිඞ් වසංගතයට ගොදුරු වෙලා ව්‍යාපාර යළි අඩාල වුණා.
නමුත් කොවිඞ් 19 වසංගතය මෙතරම් ඉක්මනින් පාලනය කරේ නැත්නම්, අපි පත්වෙලා තියෙන අසීරුතා සාකච්ඡා කිරීමට රැස් වීමට පවා හැකියාව ලැබෙන්නේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ නායකත්වයෙන් යුත් මේ රජය මහජනතාව සමග ගනුදෙනු කරන මුල්‍ය ආයතන කැඳවමින්, උපදෙස් දෙමින් හැකිතාක් දුරට මේ රටේ ව්‍යාපාරිකයන් වෙනුවෙන් පියවර රැසක් මේ වන විට අරගෙන තියෙනවා.
බැංකු පොලී අනුපාතය අපි තනි ඉලක්කමකට අරගෙන තියෙනවා. එය තවදුරටත් පහළ අගයකට ගෙන ඒමට රජය කටයුතු කරන බව මේ අවස්ථාවේ දී කියන්න කැමතියි.. අපේ රටේ බැංකු සාමාන්‍යයෙන් කර්මාන්තවලට ණය දෙන්න තියෙන උනන්දුව අඩුයි. යම්කිසි ව්‍යාපාරිකයෙක් හැදෙනවා වගේ දැක්කාම බැංකු ගෙදරටම ඇවිත් ණය දෙන්න යනවා. සමහරවිට ඒ ව්‍යාපාරිකයා ඒ ණය ගන්නෙ ව්‍යාපාරය සඳහාම නොවෙයි. ගෙදරටම ඇවිත් හාදු දිදී ණය දෙන බැංකු තමන්ගේ සේවාදායකයා තරමක් අසීරුතාවකට පත් වුණාම තිබුණු හිතෛෂී මැදිහත්වීම තවදුරටත් පවත්වන්නේ නැහැ. ඊට පස්සේ මේ සේවාදායකයා ත්‍රස්තවාදියෙක් විදියට පෙනෙන්න ගන්නවා.
මම හොයලා බැලුවා, මේ අවුරුද්දේ මුල් මාස හතර තුළ බිලියන තුනකට වඩා ශුද්ධ ලාබ ලබපු බැංකු තුනක් තිබුණා. වෙනත් බැංකු බිලියන තුනක ලාබයක් නැති වුණාට දෙකක් හෝ එකයි දශම ගණනකට ලාබ ලබලා, තිබුණා. බැංකු ලාබ ලබලා, බැංකුවල රැකියා කරන අයට හොඳ ජීවන පැවැත්මක් හිමි කර දී තියෙනවා. නමුත් ඔවුන්ගේ ප්රබලතම සාධකය වුණු සේවාදායකයා දවසින් දවස අසරණ වෙනකොට සුහද හදක් ගැන කියන බැංකුවල ඒ හදවත සුහද වෙන්නේ නැහැ.
අපේ රටේ ආර්ථිකය හා කර්මාන්ත දියුණු වෙන්න නම් අපේ රටේ ප්‍රධාන සාධක දෙකක් වෙනස් වෙන්න වෙනවා. එකක් අපේ රටේ බැංකු. අනික අපේ රටේ බලශක්තිය. අධික මිලක් ගෙවලා, විදුලි බලය අරගෙන කර්මාන්ත කරන්න පුළුවන් රටක් මම දැකලා නැහැ. ඒ වගේම අද පවතින බැංකුවල ප්‍රතිපත්තිය හා සමාන ප්‍රතිපත්ති තියන කිසිම රටක ව්‍යවසායකයන් හෝ කර්මාන්ත පණ ගැන්විලා නැහැ.
ව්‍යවසායකයා මාසයක් පුරා මහන්සි වෙලා බැංකුව නඩත්තු කරනවා. එහෙම නඩත්තු කරත් අවසානයේ තමන්ව නඩත්තු කරන සේවාදායකයා ගැන සැලකිලිමත් වෙන්නෙ ඉතාම අඩුවෙන්. මේ බැංකුවල ස්වභාවය වෙනස් කර ගැනීම අත්‍යවශ්‍යයි.
අපේ රටේ මහ බැංකුවත් මුල්‍ය ප්‍රතිපත්ති ගොඩක් හදාගෙන තියෙන්නේ බැංකුකරුවන්ගේ යහපත උදෙසා මිසක් බැංකුවට එන සේවාදායකයන්ගේ යහපත සඳහා නොවෙයි. අපේ රට ඉදිරියට යන්න අසීරු කරවන මෙවැනි බාධා ඉවත් කරගත යුතු වෙනවා.
මේ අනුව, ‘අවශ්‍ය කරන ප්‍රතිපත්තිමය හා ව්‍යුහාත්මක වෙනස් සිදු කිරීම සඳහා අපි රජයක් හැටියට උපරිම වශයෙන් කටයුතු කරනවා,’ කියන ස්ථාවරයක මම වගේම අතිගරු ජනාධිපතිතුමනුත් ඉන්නවා, කියන කාරණය කිව යුතුයි. මේ රටේ ව්‍යවසායකයාගේ ජයග්‍රහණය වෙනුවෙන් සුදුසු වාතාවරණය නිර්මාණය කර දීම වෙනුවෙන් අපට හැකි සෑම ප්රයත්නයක්ම දරන බව නැවතත් ඉතා ඕනෑකමින් අවධාරණය කරනවා”