ඉතිහාසයේ ප්‍රථම වතාවට පෞද්ගලික අංශය ද අල්ලස් ගැනීමේ වරදක් සිදු කළහොත් දූෂණ මර්දන පනත් කෙටුම්පත යටතේ දඩුවම්ලබා දිය හැකි බව යුක්තිගරුක සහ නීතිගරුක සමාජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සාකච්ඡා විය.
දූෂණයට එරෙහි සහ වෙනත් ජාත්‍යන්තර වශයෙන් පිළිගත් සම්මතයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතියේ නිශ්චිත විධිවිධාන බලාත්මක කිරීම, වත්කම් සහ බැරකම් ප්‍රකාශවලට අදාල අල්ලස් දූෂණ සහ පිළිබඳ චෝදනා සහ ඒ ආශ්රිත වැරදි අනාවරණය සහ විමර්ශනය කිරීම සඳහා ද අදාල අල්ලස් දූෂණ වැරදි සඳහා නඩු පැවරීම සදහා ස්වාධීන කොමිෂන් සභාවක් පිහිටුවීම ඇතුළු කර්තව්‍යයන් සඳහා වන දූෂණ විරෝධි පනත පිළිබදව අද පැවති යුක්තිගරුක සහ නීතිගරුක සමාජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සාකච්ඡා විය.
දූෂණ මර්දන පනත් කෙටුම්පතට, පෞද්ගලික අංශය විසින් ද අල්ලස් ගැනීම වරදක් බවට පත්කිරීමේ විධිවිධාන ඇතුළත් බවත්, එය මීට පෙර රාජ්‍ය ආයතනවලට පමණක් සීමා වූ බවත් මෙහිදී සාකච්ඡා විය. ඒ අනුව, 1995 අංක 15 දරණ ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිති පනතේ 5 වැනි වගන්තියේ අර්ථ දක්වා ඇති පරිදි නිශ්චිත ව්‍යාපාරික ව්‍යවසායයක් එකී පනත් කෙටුම්පත යටතේ යම් වරදක් සිදු කිරීම මත වරදකරු බවට පත් කිරීමට හැකියාව හිමිවේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20) පාර්ලිමේන්තුවේ පැවති යුක්තිගරුක සහ නීතිගරුක සමාජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී මෙම කරුණු සාකච්ඡා විය.
තවද, පොලිස් නිලධාරීන්ට පමණක් සීමා නොවී විමර්ශන කටයුතු සඳහා නිශ්චිත ක්ෂේත්රවලින් විශේෂඥයින් බඳවා ගැනීමේ විධිවිධාන ද පනත් කෙටුම්පතට ඇතුළත් කර තිබේ.
කාරක සභාවේ සාමාජිකයින්ගේ අදහස වූයේ පනත් කෙටුම්පතේ අරමුණු වඩාත් හොඳින් ඉටු කිරීම සඳහා ඇතැම් විධිවිධාන සංශෝධන කිරීම අවශ්‍ය බවයි.
ප්රජාතන්ත්රවාදී සමාජයක පොදු සුභසාධනයේ සාධාරණ අවශ්‍යතා සපුරාලීම , පාලනයේ විනිවිදභාවය ඉහළ නැංවීම සහ පාලනයේ අවංකබව ශක්තිමත් කිරීම සහ වගවීම වැඩි කිරීම සඳහා අල්ලස හා දූෂණය තුරන් කිරීම දූෂණ විරෝධී පනත් කෙටුම්පතේ අරමුණු වේ.
තවද ආණ්ඩුව පිළිබඳ මහජන විශ්වාසය වර්ධනය කිරීම සහ දූෂණය තුරන් කිරීම සඳහා වන මහජන සහභාගිත්වය ශක්තිමත් කිරීම, මේ පනත යටතේ බලතල සහ කාර්යය ක්‍රියාත්මක කිරීමට ස්වාධීන කොමිෂන් සභාවක් පිහිටුවීම, අල්ලස් දූෂණ වත්කම් සහ බැරකම් ප්‍රකාශ වලට අදාලව වැරදි පිළිබඳ මූලික පරීක්ෂණ සහ විමර්ශන කටයුතු සිදු කිරීමට සහ ඒවාට එරෙහිව නඩු පැවරීමට ඉහත කී කොමිෂන් සභාවට නියෝග කිරීම, අල්ලස් හා දූෂණ වැළැක්වීම පිළිබඳ අධ්‍යාපනය ක්‍රියාකාරකම් පැවැත්වීම සහ සම්බන්ධීකරණය කිරීම, රාජ්‍ය නිලධාරීන් අයථා ලෙස ධනවත් වීම වැළැක්වීම පිණිස වත්කම් සහ බැරකම් ප්‍රකාශ කිරීම සඳහා සඵලදායි ක්‍රමයක් හඳුන්වා දීම මෙමගින් අපේක්ෂා කෙරේ.
