හිසට සිදුකළ පහරදීමකින් බරපතළ තුවාල ලබා බදුල්ල මහරෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබමින් සිටි කාන්තාවක් ඊයේ (5) දා රාත්රි මියගොස් ඇතැයි බණ්ඩාරවෙල පොලීසිය පවසයි .
මෙසේ මරණයට පත්ව ඇත්තේ බණ්ඩාරවෙල උතුරු කැබිල්ලේවෙල පදිංචිව සිටි නාලනී මල්ලිකා (32) නමැති තිදරු මවකි .
මරණකාරිය පොලියට මුදල් ලබාදෙන අතර විත්තිකරු ඇගෙන් ලබාගත් බව කියන රුපියල් තිස්දහසක මුදල ඉල්ලා සිටීමට සැකකරුගේ නිවසට ඉකුත් මස 10 වැනිදා ගිය අවස්ථාවේ ඇතිවූ බහින් බස් විමක් පසු මෙම පහරදීම සිදුකර ඇති බව විමර්ශන වලදි අනාවරණය විනැයි පොලීසිය සඳහන් කළේය .
එදින සිට මිය යනතෙක්ම ඇය බදුල්ල මහරෝහලේ ප්රතිකාර ලැබුවාය.
පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉකුත් 15 වනදා අත්අඩංගුවට ගෙන තිබූ සේපාල සමරවික්රම නමැති යතුරුපැදි වැඩපලක් හිමි සැකකරු බණ්ඩාරවෙල මහේස්ත්රාත් අධිකරණය ඉදිරිපත් කිරීමෙන් මහේස්ත්රාත් කීර්ති කුඹුරුසේන මහතාගේ නියෝගය මත මේ මස 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි .
බණ්ඩාරවෙල පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතාගේ උපදෙස් මත බණ්ඩාරවෙල මූලස්ථාන ප්රධාන පොලිස් පරීක්ෂක චන්දන ජයතිලක මහතාගේ මෙහෙයවීම යටතේ බණ්ඩාරවෙල පොලීසිය විමර්ශන සිදු කරයි .
බදුල්ල - පාලිත ආරියවංශ
