ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්රමුඛ පිළිගත් දේශපාලන පක්ෂ රැසක නව සන්ධානය පිහිටුවීම හෙට (26) පෙරවරුවේ සුබ මොහොතින් සිදු කිරිමට නියමිතය.
ජනාධිපතිවරණය සහ ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කිරීම ඉලක්ක කොට ගත් නව දේශපාලන සන්ධානය බිහි කිරීමේ අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම හෙට පෙරවරු නවයට විජේරාම මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී පැවැත්වීමට සියලූ කටයුතු මේ වනවිට සූදානම් කොට තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්ව සිටින ඒකාබද්ධ විපක්ෂයේ සියලූ දේශපාලන පක්ෂවලට අමතරව පාර්ලිමේන්තුව නියෝජනය නොකරන පිළිගත් දේශපාලන පක්ෂ දහයක් මෙහිදී සන්ධානගත වන බව අද (25) පෙරවරුවේ කොළඹ බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි පොදුජන පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී දිලූම් අමුණුගම මහතා අනාවරණය කළේය.
මව්බිම ජනතා පක්ෂය, ලංකා කම්කරු එක්සත් පෙරමුණ, තමිල එක්සත් නිදහස් පෙරමුණ, ඊලවර් ප්රජාතන්ත්රවාදී පෙරමුණ, මුස්ලිම් උලමා පක්ෂය, ලිබරල් පක්ෂය, නව සිහල උරුමය, ප්රජාතන්ත්රවාදී ජාතික ව්‍යාපාරය, එක්සත් ලංකාමහාසභාව, භූමිපුත්‍ර පක්ෂය යන දේශපාලන පක්ෂ හෙට දිනයේ අවබෝධතා ගිවිසුමට එක්වීමට නියමිතය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙහිදී සන්ධානය සමග එක්වෙන්නේදැයි මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් කරුණු දැක්වූ දිළුම් අමුණුගම මහතා සඳහන් කළේ තවමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නව සන්ධානයට එක්වීම සඳහා එකඟතාවයකට පැමිණ නොමැති බවයි.
පක්ෂ දෙක අතර සන්ධාන ගත වීමකට හෝ ඉදිරි මහමැතිවරණයකින් ජයග්‍රහණය කොට එක්ව ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් හෝ කිසිඳු මත ගැටුමක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ අතර නොමැත.
ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර ගැටලුවක් පවතින නමුත් වෙනත් පක්ෂයකට ජනාධිපති අපේක්ෂක ධූරය පිරිනැමීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කිසිසේත්ම සූදානම් නොවන බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේ ය.
එම ගැටලූව නිරාකරණය වුවහොත් ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නව සන්ධානය හා එක්වනු ඇතැයි ද ඔහු වැඩිදුරටත් විශ්වාසය පළ කළේ ය.
කෂිනි හපුආරච්චි
