ශ්‍රී ලංකාවට ආවේණික, ස්භාවික පරිසරයෙන් වඳවී ඇතැයි සලකා නැවත වාර්තා කිරීමට සමත්වූ ශාක විශේෂයක් වන පිනිබෙරලිය(Doona ovalifolia) ශාක විශේෂය සංරක්ෂණය කිරීම සඳහා බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයෙහි වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මණ්ඩගල ග්‍රාමසේවා වසමේ වෑවැල්ල දොළ දෙපස පිණි බෙරලිය පැල රෝපණය කිරීමේ වැඩසටහනක් 2025.08.07 වන දින ක්‍රියාත්මක කරනලදී.
හෙල බසින් පිනිබෙරලිය සහ Doona ovalifolia යන විද්‍යාත්මක නාමය යටතේ හඳුන්වන මෙම ශාක විශේෂය 1864 වර්ෂයේදී මුල්වරට ලොවට හඳුන්වා දී ඇත්තේ පේරාදෙණිය ජාතික උද්භිද උද්‍යානයේ උද්‍යාන අධිකාරීවරයෙක් ලෙස සේවය කල බ්‍රිත්‍යාන ජාතික ශාක විද්‍යාඥයෙකු වූ හෙන්රි ත්වේට්ස් මහතා විසිනි . ඉන්පසු 1887 වර්ෂයේදී වලල්ලාවිට, හෙවෙස්ස ප්‍රදේශයෙන් සහ තවලම, හිනිදුම ප්‍රදේශයෙන් මෙම ශාක විශේෂය වාර්තා වී ඇති අතර එහිදි සජීවී නිදර්ශක රැගෙන ගොස් පේරාදෙණිය උද්භිද උද්‍යානයේ සහ ගම්පහ හෙනරත්ගොඩ උද්භිද උද්‍යානයේ රෝපණය කර ඇත.
එම ශාකයන්ගෙන් පැවත ඇවිත් ඉතිරිව තිබූ පේරාදෙණිය උද්භිද උද්‍යානයේ නිදර්ශක ශාකයත් 2012 වර්ෂයේ කඩා වැටී ඇති අතර පසුව එම ශාකයෙන් පැල කිහිපයක් නැවතත් රෝපණය කිරීමට උද්භිද උද්‍යානයේ නිලධාරීන් සමත්ව ඇත. උද්භිද උද්‍යානයට පමණක් සීමා වී වසර 100කට අධික කාලයක් ස්භාවික පරිසරයෙන් වාර්තා නොවීම නිසා මෙම ශාක විශේෂය EW - Extinct in Wild හෙවත් ස්භාවික පරිසරයෙන් වඳ වූ ශාක විශේෂයක් ලෙස 2012 ජාතික රතු දත්ත ලැයිස්තුවේ වාර්තා කොට තිබුනි.
ශාක විශේෂ පිළිබඳ විශේෂඥයකු වන ආචාර්ය හිමේෂ් දිල්රුවන් ජයසිංහ මහතා සහ ශාක විශේෂ පිළිබඳ පර්යේෂකයකු වන භාතිය ගොපල්ලව මහතා ඇතූළු කණ්ඩායම විසින් 2020 වර්ෂයේදී රත්නපුර, අයගම ප්‍රදේශයේදී සිදුකල අධ්‍යයනයකදී වසර 134 කට පසු වඳවී ගොස් ඇතැයි සැලකූ පිනිබෙරලිය ශාක විශේෂය ස්භාවික පරිසරයෙන් ප්‍රථම වරට හඳුනා ගැනීමට සමත්විය ඉන්පසු 2020 රතු දත්ත ලැයිස්තුවේදී මෙම විශේෂයේ සංරක්ශිත තත්ත්වය CR - Critically Endangered හෙවත් අතිශය අන්තරායට ලක්වූ ශාකයක් ලෙස යාවත්කාලීන කරන ලදී. පසුව පර්යේෂණ කණ්ඩාම විසින් සිදුකල ගවේශන තුලින් පාලින්දනුවර කෙලින්කන්ද හා වලල්ලාවිට මණ්ඩගල යන ප්‍රදේශ වලින් සොයා ගැනීමත් සමඟ අයගමට පමණක් ස්ථානීය ආවේණිකව තිබූ මෙම ශාක විශේෂයේ ව්‍යාප්තිය පුළුල් වීමක් සිදුවිය.
පර්යේශකයන් සිදු කල අධ්‍යයනයන් මගින් පිනිබෙරලිය ශාක විශේෂයේ ව්‍යාප්තිය පුළුල් උවත් දැනට වාර්තාවී ඇති ස්ථාන තුනෙහිම ඉතාකුඩා ශාක ගහනයක් පමණක් පවතින බැවින් දැඩි ලෙස සංරක්ෂණ ක්‍රියාමාර්ග ගනිමින් ආරක්ෂා කළ යුතු ශාක විශේෂයක් ලෙස හඳුනා ගන්නාලදී. තේ, රබර් වැනි ආර්ථික භෝග වගාවන් හා මිනිස් වාසය සඳහා වනාන්තර භූමි විනාශ කිරීම නිසා සිදුවන වනාන්තර ක්ෂයවීම හේතුවෙන් මෙම ශාක විශේෂයට වාසස්ථාන අහිමිවීමත් සමඟ තවදුරටත් අනතුරට පත් විය හැකි බව පර්යේෂකයන්ගේ නිගමනය විය. ඒ අනුව මෙම ශාකය ස්ථානීය සංරක්ෂණය (In-situ conservation) සහ විතැන් සංරක්ෂණය (Ex-situ conservation) යන ක්‍රම දෙක ඔස්සේම සංරක්ෂණය කිරීම සඳහා ඩිල්මා සංරක්ෂණ ආයතනය, රජරට විශ්වවිද්‍යාලය සහ තර්ජිත ශාක සංරක්ෂණය සඳහා වූ අරමුදලක් වන Franklinia Foundation සමඟ එක්ව ක්‍රියාත්මක වන ඇන්දාන ජෛව විවිධත්ව මංපෙත (Endane Biodiversity Corridor) ව්‍යාපෘතියේ තර්ජිත ශාක සංරක්ෂණ වැඩසටහන තුලින් කටයුතු ආරම්භ කරන ලදී.
ඒ අනුව මෙම ශාක විශේෂය පවතින පරිසර කලාප තුල පර්යේෂකයන් දීර්ඝ අධ්‍යයනයක යෙදී ඇති අතර එහිදී ශාක වල ඵල හටගෙන බීජ ව්‍යාප්තිය සිදුවන විටදී මවු ශාකයෙන් වෙන් වෙන බීජ හේතු කිහිපයක් මගින් විනාශ වීම නිසා සාර්ථක පැල හට නොගන්නා බව හඳුනා ගෙන ඇත. ඒ අනුව ඔවුන් මෙම ශාක වල බීජ රැස් කර ඒ බීජ මගින් සාර්ථක පැල තවාන් නිර්මාණය කර ඒ මගින් හට ගන්නා නිරෝගි පැල පරිසර පද්ධතියට එක් කිරීමට කටයුතු කරන ලදී. එලෙස නිර්මාණය කරන ලද පිනිබෙරලිය පැල ස්ථානීය සංරක්ෂණය (In-situ conservation) ක්‍රම වේදය අනුගමනය කරමින් පිනිබෙරලිය පැල පරිසර පද්ධතියට එක් කිරීමේ ආරම්භක අවස්ථාව ලෙස වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මණ්ඩගල ග්‍රාමසේවා වසමේ වෑවැල්ල දොළ දෙපස පිනිබෙරලිය පැල සිටුවීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී. එම වැඩසටහන සමගින් ගම්වාසීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් සහ ජනතාව දැනුවත් කිරීම සඳහා දැනුවත් කිරීමේ පුවරු සවිකිරීමද මෙහිදී සිදුවිය.
ඩිල්මා සංරක්ෂණ ආයතනයයේ ඇන්දාන ජෛව විවිධත්ව මංපෙත ව්‍යාපෘතිය, වෑවැල්ල එකමුතු අන්‍යෝන්‍යාධාර සමිතිය සහ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කල මෙම වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කල අතර මෙම වැඩසටහන සඳහා ඩිල්මා සංරක්ෂණ ආයතනයේ කළමණාකාර තුමන්, රජරට විශ්ව විද්‍යාලයේ සහ කොළඹ විශ්ව විද්‍යාලයේ ආචාර්ය මහාචාර්ය වරුන් සමගින් පිනිබෙරලිය ශාකය පිළිබඳව පර්යේෂණ සිදුකල පර්යේෂකයන්, වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් තුමිය සමගින් වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිසර නිලධාරී තුමිය, මණ්ඩගල ග්‍රාමසේවා වසමේ ග්‍රාම නිලදාරී තුමන් සහ ආර්ථික සංවර්ධන නිලධාරී තුමිය, වනසංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්, ඇන්දාන ජෛව විවිධත්ව මංපෙත ව්‍යාපෘතියේ සාමාජිකයන්, වෑවැල්ල එකමුතු අන්‍යෝන්‍යාධාර සමිතියේ සාමාජිකයන් ඇතුළු පිරිසක් සහභාගී වීය.
මීට අමතරව ස්ථානීය සංරක්ෂණ ක්‍රමවේදය අනුගමනය කිරීමට පිනි බෙරලිය දැනට වාර්තා වී ඇති අනෙක් ස්තාන දෙක වන පාලින්දනුවර කෙලින්කන්ද ප්‍රදේශයේ සහ රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම පිඹුර විද්‍යාලය ආශ්‍රිතවත් විතැන් සංරක්ෂණ ක්‍රමවේදය අනුගමනය කරමින් වලල්ලාවිට නාවලකන්ද, යගිරල සහ පාලින්දනුවර මගුරුගඟ ආශ්‍රිතව මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කටයුතු සංවිධානය කර ඇත.
අතීතයේ දී මෙම ශාක විශේෂය මීට වඩා පුළුල් ව්‍යාප්තියක් තිබුණ බව ගම්වාසීන් පවසන අතර මානව ක්‍රියාකාරකම් නිසා මෙම ශාක විශේෂයට වාසස්ථාන අහිමි වී ඇති බව ඔවුන් පවසයි. වර්තමානයේදී සීඝ්රයෙන් සිදුවන වනාන්තර ක්ෂය වීමත් සමග මෙම ශාක තවදුරටත් අනතුරට පත් වනු ඇතැයි පර්යේෂකයෝ පුරෝකථනය කරන අතර මෙම ශාක විශේෂය පිළිබඳව තවදුරටත් පර්යේෂණ සහ ගවේශණ වල යෙදීමටත් මේ ආකාරයේ සංරක්ෂණ ව්‍යාපෘති සිදුකිරීමටත් පර්යේෂකයන් බලාපොරොත්තු වේ. ඒ තුලින් විශාල වටිනාකමක් සහිත දුර්ලභ ශාක විශේෂ ආරක්ෂා කර ගැනීමට මෙන්ම මෙම ජීව විශේෂ අනාගත ලෝකයට උරුම කර දීමටද හැකි වනු ඇත.









