පාස්කු ඉරිදා දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් තුවාල ලැබූවන්ට ප්‍රතිකාර කිරිම සඳහා අවශ්‍ය රුධිරය පරිත්‍යාග කළ පරිත්‍යාගශීලීන්ට තම ස්තූතිය පුද කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දින ජාතික උත්සවය අමතමින් සෞඛ්‍ය අමාත්‍යවරයා අද (14) පෙරවරුවේ මේ බව ප්‍රකාශ කළේය.
කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේ දී මෙම උත්සවය පැවැත්විණි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා ,
“අප්‍රේල් 21 දින ප්‍රහාරය එල්ල වූ පසු තුවාල ලැබූවන්ට පතිකාර කිරීම සඳහා රුධිරය වැඩි වශයෙන් අවශ්‍ය වුණා.
එහිදී නාරාහේන්පිට රුධිර පාරවිලයන මධ්‍යස්ථානයට 2,500කට අධික පරිත්‍යාගශීලීන් ද, මීගමුව දිස්ත්‍රික් මහ රෝහලට 1,500කට අධික පරිත්‍යාගශීලීන් ද පැමිණ සිටියා.
අවසානයේ අවශ්‍ය තරම් රුධිරය ලබා ගත් පසු අපි නිවේදනය කළා ප්‍රමාණවත් තරම් රුධිරය තිබෙන බව. වැඩි වශයෙන් රුධිරය ලබාගෙන කල්තබා ගැනීමට අපහසුයි.
එලෙස රුධිරය පරිත්‍යාග කළ පරිත්‍යාගශීලීන් සියලු දෙනාටම මම ස්තූතිය පුද කරනවා. බෞද්ධ දර්ශනය අනුව දන්දීමේ ප්‍රතිපත්තියට මුල්තැන දෙමින් ශ්‍රී ලාංකිකයින් ශරීර කොටස් පරිත්‍යාග කිරීමට උනන්දුව දැක්වීම අගය කළ යුතුයි.
ශ්‍රී ලංකාව පුරා විසීරි ඇති රාජ්‍ය සහ පෞද්ගලික රෝහල්වල රෝගීන්ට අවශ්‍ය රුධිරය ගුණාත්මකව හා සුරක්ෂිතව ලබාදීම සඳහා ජාතික රුධිර පාරවිලයන සේවාව දිවයින පුරා ක්‍රියාත්මකයි.
දිනෙන් දින දියුණූ වන රුධිර පාරවිලයන විද්‍යාව නවීන තාක්ෂණ ක්‍රමවේදයන් භාවිත කරමින් ඉදිරියට පැමිණ තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම්, නවීන උපාංග සහ වෘත්තීය පුහුණුව ලබාදීමට රජය පුර්ණ අනුග්‍රහය ලබාදී තිබෙනවා.
ජාත්‍යන්තර මට්ටමේ රසායනාගාර සේවා රැසක් ජාතික රුධිර මධ්‍යස්ථානයේ ආරම්භ කර තිබෙනවා. ප්‍රාථමික සෛල බද්ධය, රුධිරය ආශ්රිත පිළිකා තත්ත්වය ඇතුලු රෝග ගණනාවක් සඳහා මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ක්‍රම ආරම්භ කර තිබෙනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ එක් මූලික අරමුණක් වන්නේ ලෝව පුරා රුධිර සැපයුමෙහි ප්‍රමාණවත් බව, ගුණාත්මකභාවය සහ සුරක්ෂිතතාවය තහවුරු කිරීමයි.
වසර 2020 වනවිට රුධිර අවශ්‍යතාවය සියයට 100ක්ම ස්වේච්ඡා රුධිර පරිත්යාගශීලීන්ගෙන්ම පමණක් ලබාගත යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර තිබෙනවා. දවයින පුරා සිටින ස්වේච්ඡා රුධිර පරිත්‍යාගශීලීන් නිසා ශ්‍රී ලංකා රුධිර පාරවිලයන සේවාවට මෙම ඉළක්කය ජයගැනීමට හැකි වුනේ 2014 වසර තුළයි.
මෙහිදී ලේ දන්දීමේ සේවා කඳවුරු වැඩි වශයෙන් සංවිධානය කළ පුද්ගලයින් සහ සංවිධාන අගය කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් සමරු තිළිණ ද පිරිනැමිම සිදු විය.
මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් වසන්තා පෙරේරා, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් හේමන්ත බෙනරගම, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින් සහ ජාතික රුධිර පාරවිලයන සේවයේ වෛද්‍යවරුන් ඇතුලු කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.
