දවසපුරාම ටියුෂන් තරඟයෙන් පිඩාවට පත්වුණු ලැබෙන සුළු විවේකය පවා ජංගම දුරකථනය සමඟ ගත කරන අනාගත පරම්පරාව සංවේදී සාහිත්‍ය රසවින්දයක් සහිත පිරුණු මිනිසුන් බවට පත් කිරිම පාසල් පෙළ පොත්වලට කවි පන්තියක් දෙකක් ඇතුළත් කිරිමෙන් පමණක් කළ නොහැකි බවද ඒ පිළිබඳව අවධානය යොමු කිරිමට පාලකයන්ට ගුරු දෙගුරුන්ට කාලය එළඹ ඇති බව කථානායක කරු ජයසුරිය මහතා පවසයි.
දරුවන්ගේ මනසෙහි සාහිත්‍යයට ඇති ඉඩකඩ උදුරාගෙන ඇත්තේ නිමක් නොමැති තරඟයකට පැටලී සිටින වැඩිහිටියන් විසින් බවද හෙතෙම සඳහන් කළේය.
කථානායකවරයා මේ බව සඳහන් කළේ ඊයේ (26) දෙහිවල පැවති අගනුවර තරුණ කවි සමාජයේ 85 වන සංවත්සර උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු කථානායකවරයා,
“වෙළඳපළ විසින් හසුරුවන මිනිසුන් හැමෝම ඉතාම සංකීර්ණ හීන පිටිපස්සේ, එකිනෙකා පරාජය කිරිම සඳහා තරඟෙට දුවන නිදහසක්, විවේකයක් නැති සමාජයක කවි උරුමය ආරක්ෂා කිරිමේ අභියෝගය භාරගත් මෙම තරුණ කවින්ගේ සංගමයට ආරාධනාවෙන් මෙහි පැමිණීමට හැකි වීම විශාල යුතුකමක් කියලා මම හිතනවා.
මම අම්මාගේ නැළවිලි ගීතයේ ඉඳලාම කවිය රසවිඳපු පරම්පරාව නියෝජනය කරනවා කියලා මා හිතනවා.
අපේ ගම්වල ඒ කාලේ ගොයම් කවි, අඬහැර මහ රාත්‍රීයේ පැට්ට්‍රල් මැක්ස් පත්තු කරගෙන ගොයම් පාගන කමත්වලින් ඇහෙන කමත් කවි අහන්න ලැබුණා. අලුත් අස්වැන්න නෙළාගත්තට පස්සේ කමත් භුමියේ නටපු ගම්මඩුවෙන් ඇහිච්ච කවිවල මොන තරම් ආශිර්වාදයක්, සතුටක් ශුංගාරයක් තිබුණද කියලා හිතාගන්නත් අමාරුයි.
මඟුල් ගෙදරක උබයකුල ඥාතීන්ගේ විස්තර කිව්වේ, අලුත් යුවලට අවවාද අනුශාසනා දුන්නේ, කවියෙන්. හැම මළ ගෙදරකම වගේ ඒ කාලේ තාලෙට වෙස්සන්තර ජාතකය ගායනා කළා. ඒ වගේම මියගිය පුද්ගලයාගේ ගුණ කථනය ගායනා කළේත් කවියෙන්. ඒ කවියන්ට ගමේ කාගෙත් පිළිගැනීමක් තිබුණා. ඔවුන් බොහොම ඇසු පිරූතැන් තිබුණූ මිනිස්සු.
කිසිම මුදලකට විකිණුනේ නැති, කිසිම පොතක ලියැවුණේ නැති, ඔවුන්ගේ කවි මොනතරම් ප්‍රබල සමාජ මෙහෙවරක් සිදුකළාද කියලා ආපසු හැරිලා බලනකොට පේනවා. වෙහෙස, පාලුව කාන්සිය මකලා දැම්මා. මිනිසුන් එකිනෙකා අතර ගෞරවය, සහජීවනය ගොඩනැගුවා. බොහොම අහිංසක සතුටකින් මිනිසුන්ගේ ජීවිත නිවා දැමුවා.
පන්සලෙන් ඇහිච්ච කවි බණ විශාල ධර්මාවබෝධයක්, ආගමික භක්තියක් ඇති කළා. සමාජය තිගැස්සෙන ඇතැම් සිදුවීම් කවි කොළ විදියට බස් එකේ කෝච්චියේ විකුණලා ඒවායිනුත් අයහපත් දේවල්වල ආදීනව ජනතාවට කියා දුන්නා.
මට හිතෙනවා අද සමාජයේ සිද්ධ වෙන අදහා ගන්න බැරි අපරාධ ගැන කවි කොළ ගහලා විකුණූවොත් බස් එකේ ඉන්න මඟින්ට වැඩිය කවි කොළ විකුණන අය බස්වල ඉඳී කියලා. අප මුහුණ දීලා තිබෙන සමාජ පරිහානිය මෙයින් පිළිබිඹු වෙනවා” යැයි කථානායකවරයා වැඩිදුරටත් පැවසීය.
