කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සිය අමාත්‍යාංශයට පත් කර ඇති රාජ්‍ය ඇමතිවරුන්ට විෂයයන් පවරා දී තිබේ.
ඊට අදාළ ගැසට් නිවේදනයට රණතුංග මහතා පසුගිය 31 වෙනි දා අත්සන් තබා ඇති අතර එය මේ වන විට ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීම සදහා රජයේ මුද්‍රණාලයට යොමු කර තිබේ.
ජනාධිපති ලේකම් පි.බී. ජයසුන්දර මහතා සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට 2019 දෙසැම්බර් 23 වන දිනැති ලිපියක් විෂයභාර ලිපියක් මගින් විෂයභාර කැබිනට් ඇමතිවරුන් සමග සාකච්ඡා කර ආණ්ඩුකම ව්‍යවස්ථාවේ 44 (5) යටතේ විෂයයන් හා කාර්යයන් පැවරීමට කටයුතු කරන ලෙස දන්වා තිබිණි.
ඒ අනුව සංචාරක ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාට ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමණාකාර ආයතනය, ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන කාර්යාංශය යන ආයතන පවරා තිබේ.
ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය මතු කරමින් ජාතික ප්‍රතිපත්තියට අනුකූලව සංචාරක කර්මාන්තය සංවර්ධනය කිරීම හා උසස් ප්රමිතීන් ප්‍රවර්ධනය, සංචාරක නියෝජිතයන් ලියාපදිංචි කිරීම හා නියාමනය, ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය, පෞඩ ඓතිහාසික උරුමයන්, පරිසරය, දේශගුණික විවිධත්වය, සයුරු වෙරළ සම්පත් ආදිය මතු කරමින් සුවිශේෂ සංචාරක දිවයිනක් ලෙස සංචාරකයන්ගේ නිවාඩු නිකේතනයන් හා විනෝදාත්මක පහසුකම් සැපයීමට අදාළව ජාත්‍යන්තර හෝටල් පහසුකම් ප්‍රවර්ධනය, සංචාරක ප්‍රවර්ධන රාජ්‍ය ඇමතිවරයාට පවරා ඇති කාර්යයන් හා කර්තව්‍යයන් වේ.
ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට පවරා දී ඇති ආයතන වන්නේ 2011 අංක 43 පණත යටතේ මහා භාණ්ඩාගාර ලේකම්වරයා සතු කර ඇති ඌණ උපයෝජිත වත්කම් ය.
ආර්ථික සංවර්ධනයේ දි ආයෝජන ප්‍රවර්ධනය සදහා නව ක්රමෝපායන් සැකසීම සදහා අදාළ ආයතන සමග සම්බන්ධිකරණය, 2011 අංක 43 පණත යටතේ මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා සතු කර ඇති ආයතන වල ඌණ උපයෝජිත වත්කම් වල ආදායම් ඉහළ නැංවීම සදහා ප්‍රතිපත්ති, උපාය මාර්ග හා වැඩසටහන් සම්පාදනය කිරීම, 2011 අංක 43 දරණ පනත යටතේ මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා සතු කර ඇති ආයතනවල ඌණ උපයෝජිත වත්කම් තුළ ආයෝජන කටයුතු සිදු කිරීම මගින් එකී ආයතන ලාභ උපයන ආයතන බවට පත් කිරීම, ආයෝජන මණ්ඩලයේ දැනට පවතින ආයෝජන ප්‍රවර්ධන කලාප උපරිම උපයෝජනය සදහා ආයෝජන ප්‍රවර්ධනය කිරීම, රජයේ ප්රමුඛ ක්ෂේත්රයන් වන කෘෂිකර්ම, සංචාරක හා තොරතුරු තාක්ෂණ ආදී ක්ෂේත්රයන්හි දේශීය හා විදේශීය ආයෝජනයන් ප්‍රවර්ධනය කිරිම ඔහුට පවරා ඇති කාර්යයන් හා කර්තව්‍යන් වේ.
