ප්‍රථම කරදිය ජලජීවි පර්යේෂණ මධ්‍යස්ථානයට මුල්ගල් තැබේ
කරදිය ජලජිවි පර්යේෂණ මධ්‍යස්ථානය සදහා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා විසින් අද ( 22 ) මුල්ගල් තබා එහි ඉදිකිරීම් ආරම්භ කළේය .
මෙම පර්යේෂණ මධ්‍යස්ථානය ජාතික ජලජ සම්පත් සංවර්ධන හා පර්යේෂණ නියෝජිතායතනය ( නාරා ) පරිශ්‍රයේ ඉදිකිරීමට සැලසුම් කර ඇත .
මේ සදහා වැය කරන මුදල රුපියල් මිලියන 50 කි .
කරදිය ජලජිවි පර්යේෂණ කටයුතු වලදී මෙවැනි මධ්‍යස්ථානයක් නොමැති වීම හේතුවෙන් ඒ පිළිබඳ පර්යේෂණ වලට විවිධ බාධා එල්ල විය . නව පර්යේෂණ මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමෙන් පසු එම සියලු බාධා ඉවත් කරගැනීමට හැකි වනු ඇති බව නාරා ආයතනය සඳහන් කළේය .
අද මුල්ගල් තැබූ නව පර්යේෂණ මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමෙන් අනතුරුව කරදිය විසිතුරු මසුන් බෝ කිරීම , මුහුදු කූඩැල්ලන් බෝ කිරීම , ඉස්සන් බෝ කිරීම ,මුහුදු පැලෑටි වගාව හා පර්යේෂණ සිදු කිරීමට අවශ්‍ය සියලු පහසුකම් සැලසෙනු ඇත .
අනතුරුව පැවති රැස්වීමේදී රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා මෙලෙස අදහස් දැක්වීය ,
“ මෙය අප ලැබූ විශාල ජයග්‍රහණයක් . විසිතුරු මත්ස්‍ය අපනයන කර්මාන්තයෙන් ජාතික ආර්ථිකයට සියයට තුනක පමණ දායකත්වයක් ලැබෙනවා . නමුත් මෙතෙක් කරදිය විසිතුරු මසුන් අපනයනය කළේ මුහුදෙන් අල්ලාගෙන . නව පර්යේෂණ මධ්‍යස්ථානය ස්ථාපිත කිරිමෙන් පසු එහි අභිජනනය කර කරදිය විසිතුරු මසුන් අපනයනය කිරිමේ හැකියාව ලැබෙනවා . මෙය අපේ අපනයන ක්ෂේත්රයේ විශාල දියුණුවක් ඇති කරන්නක් .
නාරා ආයතනය කියන්නේ ධීවර ක්ෂේත්රයේ හදවත . මේ හදවත අපි රැකගනිමින් එහි සම්පත් වැඩි කරමින් අදාළ පර්යේෂණ සදහා අවශ්‍ය සහය ලබාදීම රජයක් ලෙස අපේ වගකීම සහ යුතුකම බව වත්මන් රජය නිවැරදිව වටහාගෙන තියෙනවා . නමුත් මෙය තේරුම් නොගත් ඇතැම් පාලකයින් මෙවැනි ආයතන දිහා බැලුවේ නැහැ . මේ නාරා ආයතනය පර්යේෂණ කර සොයාගන්නා තොරතුරු නිවැරදි ලෙස ධීවර ජනතාවට වගේම රටේ සමස්ත ජනතාවට දැනගැනීමේ වැඩපිළිවෙලක් අවශ්‍යයි .
නව සොයාගැනීම් පිළිබඳ රටවැසියා නිවැරදි ලෙස අවබෝධ කර දීම මගින් මේ කර්මාන්තයේ වේගවත් සංවර්ධනයක් ඇති කළ හැකියි . ඒ වගේම විශ්ව විද්‍යාල අධ්‍යාපනය හදාරණ සිසු දරු දැරියන් සදහා මේ ආයතනයෙන් ලැබෙන සේවය මිල කල නොහැකියි" යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

