‘සැමට ඩිජිටල් (D4E)’ යන තේමාව යටතේ නව ජාතික වැඩසටහනක් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසින් ආරම්භ කර තිබේ.
පුරවැසියන් අතර ඩිජිටල් සාක්ෂරතාව ඉහළ නැංවීම සඳහා සියලු පාර්ශ්වකරුවන් සමග සහයෝගයෙන් කටයුතු කිරීම මෙම වැඩසටහනේ අරමුණයි. මීට සමගාමීව, ඩිජිටල් තාක්ෂණයේ ප්රතිලාභ සමාජයේ සියලුම කොටස් වෙත ගෙනයාම සඳහා වැඩසටහන් ගණනාවක් දියත්කර තිබේ.
සමාරම්භක වැඩසටහන අන්තර්ජාල සමුළු සේවා ඔස්සේ 200කට ආසන්න පිරිසකගේ සහභාගිත්වයෙන් පසුගියදා පවත්වා තිබුණි. ආරම්භක සැසිවාරයේදී අදහස් දක්වමින් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන ඩිජිටල් ආර්ථික නිලධාරි අනුර ද අල්විස් මහතා ප්‍රකාශ කළේ, “ජාතික ඩිජිටල් ආර්ථික වැඩපිළිවලට අනුව ශ්‍රී ලංකාව ඉහළ ඵලදායී ඩිජිටල් භාවිතයෙන් යුතු ජාතියක් බවට පත්කිරීම මුලික අරමුණක් වෙනවා. එම දැක්ම සාක්ෂාත් කරගැනීම සඳහා ප්‍රධාන අරමුණු 5ක් මූලිකව හඳුනාගෙන තිබෙනවා. එනම්, තාක්ෂණ කර්මාන්තය සංවර්ධනය, නව්‍ය තාක්ෂණ ව්‍යාපාර පද්ධති සංවර්ධනය, මානව සම්පත් ධාරිතා වර්ධනය, තාක්ෂණික ව්‍යාප්තිය සහ කලාපිය ඩිජිටල් තාක්ෂණ සංවර්ධනය යන වැඩසටහන් හඳුන්වන්නට පුළුවන්” යනුවෙනි.
මෙම සමුළුවේදී අදහස් දක්වමින් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ධාරිතා ප්‍රවර්ධන අධ්යක්ෂ සමීර ජයවර්ධන මහතා, “ශ්‍රී ලංකාවේ බිම් මට්ටමේ තාක්ෂාණික භාවිතය ඉහළ නැංවීමට අප පියවර ගැනීම අත්‍යාවශ්‍යයි. සැමට ප්‍රායෝගිකව හා ඵලදායීව ඩිජිටල් මෙවලම් භාවිත හැකියාව ලබාදීම වැදගත් වෙනවා. ” යැයි පවසා සිටියේය. එමෙන්ම D4E (සැමට ඩිජිටල්) වැඩසටහන යටතේ සමාජයට ඩිජිටල් භාවිතාවන් හඳුන්වාදීම සහ ඩිජිටල් සාක්ෂරතාව ඇති කිරීම සඳහා යන ගමනේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ක්‍රියාකාරී සැලැස්ම පිළිබඳව ඔහු විසින් දැනුවත් කරන ලදී. මෙහිදී සමාජ අවශ්‍යථා සඳහා දියත් කර ඇති විවිධ පරිගණක යෙදවුම් (app) එකම වේදිකාවට එක්කොට ජනතාවට පහසුවෙන් භාවිත කිරීම සඳහා වූ D4E App Endorsement වැඩසටහනද දියත් කර තිබුණි.
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ධාරිතා ප්‍රවර්ධනය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කළමනාකරු කසුන් වික්‍රමසූරිය මහතා ප්‍රකාශ කළේ, “මේ නව ඩිජිටල් වේදිකාවෙන් දැනට පවතින ජංගම app භාවිතය පුරවැසියන්ට ඉතා පහසුවක් වන අති. ඔවුන්ගේ එදිනෙදා ජීවිතයේදී ඩිජිටල් තාක්ෂණය ඵලදායී ලෙස යොදා ගැනීම දිරිගැන්වීම සඳහා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය හඳුන්වා දුන් කාලෝචිත පියවරක් ලෙස මෙය හඳුනාගෙන තිබෙනවා.” යනුවෙනි. මෙම වේදිකාවට එක්වන ලෙස අනෙකුත් දේශීය පරගණක යෙදවුම් නිර්මාණ කරුවන්ටද තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය ආරාධනා කර සිටියේය.
මෙම සමුළුවට සමගාමිව, තරුණයන්, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්, විවිධ හැකියාවන් ඇති කාන්තාවන් සහ විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාවන් ඇතුළුව පුළුල් පරාසයක පාර්ශ්වකරුවන් කණ්ඩායම් 4ක් ලෙස වෙන් වෙන්ව සමුළු පැවැත්වූ අතර, ඔවුන්ගේ අවශ්‍යතා වෙන් වෙන්ව හඳුනා ගැනීමක් හා ක්‍රියාකාරී වැඩපිළිලෙකටද මුල පුරන ලදී.
කාන්තා හා ළමා සංවර්ධන ,පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශය, සර්වෝදය ෆියුෂන්, ජාතික තරුණ සේවා සභාව, FITIS, ශ්‍රී ලංකාවේ සේවා යෝජකයාගේ සම්මේලනය, ෆේස්බුක්, SLASSCOM , අන්තර්ජාල සංගමයේ ශ්‍රී ලංකා ශාඛාව (ISOC Sri Lanka), බ්‍රිතාන්‍ය පරිගණක සංගමය (BCS), ශ්‍රී ලංකා පදනම, ශ්‍රී ලංකා පරිගණක සංගමය (CSSL), එල්.කේ. ඩොමේන් ලේඛකාධිකාරය (LK Domain Registry), ස්මාට් සමාජ කව සහ ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය සහ තවත් සමාජ ක්‍රියාකාරීන් සහ උනන්දුවක් දක්වන කණ්ඩායම් මෙම සැසිවාරයට එක්ව සිටියහ.