ආණ්ඩු පක්ෂය ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පරිපූරක ඇස්තමේන්තුවේ ගැටලුවක් තිබුණු බව කථානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී අද (19දා) පැවසීය.
එම පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්රී චන්දිම වීරක්කොඩි මහතා ප්රශ්න කළ අවස්ථාවේදී ඒ මහතා මේ බව පැවසීය.
පරිපූරක ඇස්තමේන්තුවක් සිතූ සිතූ ආකාරයට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත්, සභානායකවරයාට එය ඉවත් කර ගැනීමටත්, යළි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් නොහැකි බව වීරක්කොඩි මහතා පැවසීය.
ජනතා විමුක්ති පෙරමුණේ බිමල් රත්නායක මහතා සඳහන් කළේ මුදල් කාරක සභාවට අයත් මෙවැනි වැදගත් ලියවිල්ලක් සම්බන්ධව කටයුතු කිරීමට සභානායකවරයාට විශේෂ බලයක් නොමැති බවත්, මෙය ඇමතිවරයෙකුගේ ලියවිල්ලක් නොවන බවත්ය.
මෙහිදී අදහස් දැක්වූ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව තමා කටයුතු කළ බවයි.
චන්දිම වීරක්කොඩි මහතා යළිත් වරක් ඊට විරෝධය පළ කළ අවස්ථාවේදී කථානායකවරයා යළිත් සඳහන් කළේ එහි ගැටලුවක් තිබෙන බවයි.