මෙවර ජනාධිපති මැතිවරණය සඳහා නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද දායකයින්ගේ සංඛ්‍යාව 569,028 ක් ඇති බවත්, සමස්ත ඡන්ද මධ්‍යස්ථාන 488 ක් ස්ථාපිත කර ඇති බවත් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් හා තේරීම් භාර නිලධාරි රෝහණ පුෂ්පකුමාර මහතා පැවසීය.
ජනාධිපති මැතිවරණය සම්බන්ධව මාධ්‍යට අදහස් දක්වමින් දිස්ත්‍රික් ලේකම්වරයා ඒ බව පැවසීය.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ මැතිවරණ සූදානම සම්බන්ධව වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා,
ඡන්ද ගණන් කිරිමේ මඨ්‍යස්ථාන ලෙස ඡන්ද ගණන් කිරිමේ ශාලාවල් 48ක් ඇති බවත්, එයින් ශාලා 33ක් නුවරඑළිය ගාමිණී ජාතික පාසලේ පිහිටුවා ඇති බවත්, ඉතිරි ශාලා 15 දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ ඇති බවත් පවසන රෝහණ පුෂ්පකුමාර මහතා, ඡන්ද විමසීමේ නිලධාරීන් 6,800ක් ඡන්ද රාජකාරි සඳහා යෙදවීම සිදු කරන බවත් පැවසීය. ඡන්ද ගණන් කිරීම සඳහා නිලධාරීන් 3,100 ක් යොදවා ඇත.
ඡන්ද විමසීමේ සමස්ත ආරක්ෂක කටයුතු සඳහා පොලිස් හා විශේෂ කාර්ය බලකා නිලධාරින් 1,590 ක පමණ පිරිසක් යොදවන බව නුවරඑළිය නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් තමන් වෙත වාර්තා කර ඇති බව පවසන දිස්ත්‍රික් ලේකම්වරයා, ජ්‍යෙෂ්ඨ ඡන්ද මධ්‍යස්ථාන නිලධාරීන් හා සහකාර තේරීම් භාර නිලධාරීන් සඳහා වාහන 522ක් පාවිච්චි කිරීමට බලාපොරොත්තු වන බවද පැවසීය.
පසුගිය දිනවල නුවරඑළිය දිස්ත්‍රික්කයේ පැවති අයහපත් කාලගුණික තත්ත්වය තරමක් යහපත් තත්ත්වයට පත්වී ඇති නිසා ඡන්ද විමසන දිනයට පෙර දිනය, විමසන දිනය හා පසු දිනය යහපත් කාලගුණික තත්ත්වයක් පවතියි කියා තමන් බලාපොරොත්තුවන බවත්, ඒ අනුව බාධාවකින් තොරව ඡන්ද කටයුතු යහපත් අයුරින් පවත්වාගෙන යාමට බලාපොරොත්තු වන බවත් දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය.
