ජනාධිපතිවරණ නිහඬ සමය තුළ සහ මැතිවරණ සමය තුළ ඡන්දදායකයින්ට අල්ලස් දීම් සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරන බව කැෆේ සංවිධානය කියයි.
එම සංවිධානයේ වැඩබලන විධායක අධ්යක්ෂ අහමඩ් මනාස් මකීන් මහතා අද රත්නපුරදී පැවැති කැෆේ සංවිධානයේ වැඩමුළුවකදී මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ පූර්ව මැතිවරණ සමයේ තම සංවිධානය වෙත පැමිණිලි 735ක් වාර්තා වී ඇති බවයි. මීට අමතරව සමස්තයක් ලෙස සලකාබැලූ කල අනිකුත් ජනාධිපතිවරණ වලට සාපේක්ෂව මෙවර ජනාධිපතිවරණ නිහඬ සමය සාමකාමි බවද ඒ මහතා පැවැසීය.
නිහඬ සමය තුළ මේ වනතෙක් ලැබි ඇත්තේ පැමිණිලි 8ක් පමණක් බව පෙන්වා දුන් මනාස් මකීන් මහතා කියාසිටියේ ඒවා ප්රචාරක පුවරු සහ මෙහෙයුම් කාර්යාල ඉවත් නොකිරීම සම්බන්ධයෙන් වාර්තා වූ ඒවා බවයි.
මෙවර නිහඬ සමය තුළ සහ මැතිවරණ දිනයේ ඡන්දදායකයින් වෙත අල්ලස් ලබාදීමේ සිදුවීම් වාර්තා විය හැකි බවත් ඒ පිළිබද වැඩි අවධානයක් යොමු කරමින් මෙම ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීමට අපේක්ෂා කරන බවත් හෙතෙම පැවසීය.
නිහඬ සමය සහ මැතිවරණ දිනයේ ජංගම නිරීක්ෂණ කටයුතු සඳහා නිරීක්ෂකයින් 2,300ක් යෙදවිමට අපේක්ෂා කරන බව ද මනාස් මකීන් මහතා මෙහිදි පෙන්වා දුන්නේය.
