නැවුම් තරුණ නායකත්වයක් යටතේ ඉදිරි වසර දහය තුළ ශිඝ්ර සංවර්ධනයක් සහිත අලුත් ශ්‍රී ලංකාවක් නිර්මාණය වන බව විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ එම අමාත්‍යාංශය සංවිධාන කරන පොළොන්නරුව ජාතික ක්‍රීඩා සංකීර්ණයේ පැවැත්වෙන ශිල්පසේනා විද්‍යා, තාක්ෂණ හා නවෝත්පාදන ප්‍රදර්ශනයේ සිවුවන දින විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ,
අප රටේ සාක්ෂරතාව ඉහළ අගයක් ලබා ගන්නවා. එය ප්‍රතිශතයක් ලෙස 96% ක්. නමුත් විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්රයේ සංවර්ධනය අතින් අප සිටින්නේ ඉතා පහළ තත්ත්වයක. සමහර රටවල් සාක්ෂරතාව පහළ අගයක් ගත්තද විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්රයේ ඉහළ සංවර්ධනයක් තුළින් ධනවත් වි සිටිනවා. මේ සඳහා පිළියමක් ලෙස අපේ අමාත්‍යාංශය විද්‍යා, තාක්ෂණ හා නවෝත්පාදන දැනුම ගමට ගෙන ඒමට ශිල්පසේනා වැඩසටහන ක්‍රියාත්මක කරනවා. රටට නිවැරදි කාර්යක්ෂම නායකත්වයක් යටතේ ඉදිරි වසර පහේ දී මැලේසියාව වැනි මට්ටමකටත්, ඉදිරි වසර දහයේ දී සිංගප්පූරුව වැනි මට්ටමකටත් ගේන්න පුළුවන්.
ශිල්පසේනා වැඩසටහන තුළින් විද්‍යා, තාක්ෂණ හා නවෝත්පාදන දැනුම ගමට ගෙන එමින් මූලිකව අනාගත පරපුර සවිබලගැන්වීමත්, සංවර්ධිත අලුත් ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමට දායක වීමත් අපේ අරමුණ වෙනවා. ඉදිරියේදී මෙම වැඩසටහන රටපුරා ක්‍රියාත්මක කිරීමෙන් එම අරමුණ ජය ගැනීමට අපට හැකියාව ලැබෙනවා.
පාසල් දරුවන්, විශ්ව විද්‍යාල සිසුන් විශාල ප්‍රමාණයක් මෙම ප්‍රදර්ශනයට පැමිණෙනවා. ඒ හරහා එම විෂය පිළිබඳව ආසාවක් උනන්දුවක් ඇති කිරිමට අපට හැකි වෙලා තිබෙනවා. කුඩා, තරුණ, වැඩිහිටි ඕනෑම අයකුට මේ සඳහා එක්වී යම් දැනුමක්, අවබෝධයක්, වෘත්තීය පුහුණුවක්, වෙළඳ අවස්ථාවක් ලබා ගැනීමට හැකිවෙනවා යනුවෙන් ඔහු පැවසීය.
මෙම අවස්ථාවට පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සිඩ්නි ජයරත්න, නාලක කොලොන්නගේ, අමාත්‍යාංශ ලේකම් චින්තක ලොකුහෙට්ටි යන මහත්වරුන්, දේශපාලන නියෝජිතයන්, විද්‍යාඥයින්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
කෂිනි හපුආරච්චි
