පසුගිය 03 දා පෙරවරුවේ ඇතැම් ප්‍රදේශවල විදුලි කප්පාදුවක් සිදු කිරීම සම්බන්ධයෙන් විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ඊයේ (04දා) ලංකා විදුලිබල මණ්ඩලයේ ඉහළ කළමනාකාරිත්වයෙන් කරුණු විමසනු ලැබීය.
දැනට පවතින කරුණු අනුව විදුලි කප්පාදුවකට යාමට තරම් හේතුවක් නොතිබූ බව විදුලි බල මණ්ඩලයේ ඉහළ කළමනාකාරිත්වය විසින් දැනුම් දුන් අතර ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව විසින් ලංකා විදුලි බල මණ්ඩලයට ඉන්ධන සැපයීම මේ වනවිට ණය සීමාව ඉක්මවා ඇතත් විදුලි කප්පාදුවක් කිරීමට සිදුවෙන බවට තමන් දැනුම්වත් කළේ නම් ඊට තමන් ඉඩ නොතබන බව එම සංස්ථාවේ ඉහළ කළමනාකාරිත්වය විසින් අමාත්‍යවරයාට දැනුම් දුන්නේය.
කෙසේ වුවද දැනට ලංකා ඛනිජතෙල් නිතිගත සංස්ථාව විසින් රුපියල් බිලියන 88ක් ඉක්මවා ලංකා විදුලි බල මණ්ඩලයට ඉන්ධන ලබා දි තිබේ.
මෙම තත්ත්වය පැහැදිළි කර කප්පාදුවකින් තොරව විදුලිය ලබා දීම සඳහා ඉදිරියේ ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධව අද (05දා) පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවේ දී තමන් පියවර ගන්නා බවත්, අවශ්‍ය නම් ණය සීමාව වැඩි කර ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීමට තමන් කටයුතු කරන බවත් අමාත්‍යවරයා දැනුම් දුන්නේය.
ලංකා විදුලි බල මණ්ඩලය හා ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව යන ආයතන දෙකම රාජ්‍ය ආයතන දෙකක් වන බැවින් මතුවෙන ගැටළු සාකච්ඡා කර විසඳුම් ලබා දෙන ලෙසත්, එමෙන්ම ඒ පිළිබඳව අමාත්‍යවරයා වශයෙන් තමන් ද මැදිහත්වි කටයුතු කිරීමට සුදානම් බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
කෙසේ වුවද යළි කිසිදු අයුරකින් විදුලිබලය කප්පාදුවක් සිදු නොවන ආකාරයට වග බලා ගන්නා ලෙසත්, මහජනතාවට හිංසාවක් වන අයුරින් කටයුතු කිරීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය නොවන බවත් අමාත්‍යවරයා සඳහන් කළ අතර, අදාළ ආයතන දෙකම වගකීමෙන් යුක්තව කටයුතු කරන්නැයි ද අමාත්‍යවරයා තරයේ අවවාද කළේය.
