මැතිවරණය ප්‍රකාශයට පත් කළ දිනයේ සිට මේ දක්වා පැමිණිලි 103ක් වාර්තා වී ඇති බව කැෆේ සංවිධානය පවසයි.
මේ අතරින් වැඩිම පැමිණිලි සංඛ්‍යාව වන පැමිණිලි 96ක් නාම යෝජනා භාර දුන් ඊයේ දිනයේ (07) වාර්තා වීම විශේෂත්වයක් බව එම සංවිධානයේ අධ්‍යක්ෂිකා සුරංගි ආරියවංශ මහත්මිය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
පූර්ව නාමයෝජනා සමය තුළ වාර්තා වී ඇති සිදුවීම් ප්‍රමාණය 7ක් වන අතර ඒවා මැතිවරණ නීතිරිති උල්ලංඝනය කිරීම් පිළිබඳව පැමිණිලි වන බව ද ඇය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දක්වා තිබේ.
මීට අමතරව දිවයිනේ සෑම ප්‍රදේශයකම මැතිවරණ ප්රචාරක පෝස්ටර් දක්නට ලැබුණු බව සඳහන් කරන සුරංගි අරියවංශ මහත්මිය පෙන්වා දෙන්නේ අපේක්ෂකයින් තිදෙනෙකු ගේ පෝස්ටර් බහුල වශයෙන් දක්නට ලැබුණු බවයි. මීට අමතරව අපේක්ෂකයින්ට සුභ පැතුම් එක් කරමින් විශාල ප්‍රමාණයේ කටවුට් ප්‍රදේශ රැසක ඉදිකර තිබූ බවත් ඒවා පිළිබඳව මැතිවරණ කොමිසම වෙත පැමිණිලි කර ඇති බවත් සුරංගි ආරියවංශ මහත්මිය කියා සිටියි.
කල්මුණේ සයින්දමරුදු ප්‍රදේශයේ එක් අපේක්ෂකයෙකු ගේ දැන්වීම් වලට කළුතෙල් ප්‍රහාරයක් එල්ල කිරිමේ සිදුවීමක් වාර්තා වන බව ද ඇය සඳහන් කරන්නිය.
මෙවර මැතිවරණය සඳහා කැෆේ සංවිධානය දීප ව්‍යාප්ත මට්ටමින් නිරීක්ෂකයින් 7,500ක් යොදා ගැනීමට සැලසුම් කර ඇති අතර විශේෂයෙන් ඡන්ද දායකයින් වෙත අල්ලස් ලබාදීම් සහ විවිධ වරප්‍රසාද ලබාදීම් පිළිබඳ වැඩි අවධානයක් යොමු කරමින් කටයුතු කිරිමට සැලසුම් කර ඇති බව ද කැෆේ සංවිධානයේ අධ්‍යක්ෂිකා සුරංගි ආරියවංශ මහත්මිය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දැක්වෙයි.
