රිදිමාලියද්ද, නාගදීප වැවෙහි පිටවානෙහි ආරක්ෂාව තහවුරු කිරිම සදහා වැවතුල පිහිටා තිබෙන පස් වැටිය, මාපාකඩවැව වාරිමාර්ග ඉන්ජිනේරුවරියගේ අනුදැනුම මත පස් කැපීම සදහා යොදා ගැනීම, ගොවි සමිති නියෝජිතයන්ගේ විරෝධතාවයෙන් අද (27) නතර කෙරිනි.
ආදාඋල්පත හන්දිය සිට බටුයාය ගම්මානය හරහා තිස්සපුර දක්වා වු මාර්ගයේ පිළිසකර කිරිම් සදහා නාගදීප වැව තුළ මෙම පස් කැපීම සිදුව ඇති අරත දින කිහිපයක් තිස්සේ මාපාකඩවැව වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලයේ ප්‍රාදේශිය වාරිමාර්ග ඉංජිනේරු නදීකා සමන්මලී මහත්මියගේ අනුදැනුම හා නිර්දේශයෙන් මෙම පස්කැපීම් සිදු වන බවටත්, මෙම පස් කැපිම හේතුවෙන් වැවෙහි පිටවානට බලපෑම් ඇති වන බවට ගොවි සංවිධාන චෝදනා නැගීය.
ගොවි සංවිධානයේ බලවත් විරෝධය හමුවේ වැවේ පිටවාන ඉදිරිපිට (වැව තුල) පස් කැපීම නතර වු අතර ගොවි සංවිධාන එකඟතාවයෙන් වැවේ වේල්ලට, සොරොව්වට හා පිටවානට බලපෑම් ඇති නොයන ස්ථානයක පස් කැපීමට සදහා පැවති සාකච්ඡාවකින් පසුව වෙනත් ස්ථානයක් තෝරා ගන්නා ලදී.
ගොවි සංවිධාන චෝදනා කරන්නේ මැති ඇමතිවරු හරහා සංවර්ධන කටයුතු සදහා ලැබෙන මුදල් ප්‍රාදේශිය ලේකම් කාර්යාල වෙත ලැබීමෙන් අනතුරුව ගොවි සංවිධාන හරහා ව්‍යාපෘති සදහා යෙදවෙන බවත්, බටුයයා මාර්ග සංවර්ධනයද එසේ ගොවි සංවිධාන වෙත ලබාදීමේ හැකියාව තිබියදි වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලයේ නිලධාරින් යොදවා ව්‍යාපෘතිය කරවීමත්, වැවට හානියක් වන ලෙසත් වැවෙහි පිටවාන ආසන්නයෙන් පස් කැපීම නීතිවිරෝධි ලෙසටයි.
මේ සම්බන්ධයෙන් මාපාකඩවැව වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලයේ ප්‍රාදේශිය වාරිමාර්ග ඉංජිනේරු නදීකා සමන්මලී මහත්මියගෙන් විමසූවිට “ මගේ නිලධාරින් පස් පරික්ෂා කිරිමකින් අනතුරුව තමයි පියවාන ආසන්නයේ පස් කැපීම සිදු කලේ. වාරි ඉංජිනේරුවරියක් විදියට මට තියෙන දැනුම අනුව ඉන් වැවට කිසි හානියක් සිදුවෙන්නේ නෑ කියලා දන්න නිසා තමයි එහෙම කලේ. හැබැයි ගොවියන්ගේ ඉල්ලීමක් ආවා එම ස්ථානයේ පස් කපන්ඩ එපා තදින් විරුද්ධයි කියලා. අපි ඒ අනුව වෙනත් ස්ථානයකින් ඒ අයගේද එකඟතාවයෙන් දැන් වෙනත් ස්ථානයකින් පස් කපන්න මම යළි අවසරය දුන්නා “ යැයි ප්‍රකාශ කර සිටියාය.

