නවසීලන්තයේ නව කොරෝනා වෛරසය යළි හිසඑසවීම හා සම්බන්ධ සිදුවීම් විශාල ආසාදිත නැගීමක් හා භයානක තත්ත්වයක් බව කී ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට, එරට අගමැතිනී ජසින්ඩා ආර්ඩේන් විසින් පෙරලා එල්ල කළ කණේ පහරක් බඳු සැර පිළිතුරක් ලබාදී තිබේ.
නවසීලන්තයේ අලුත්ම තත්ත්වය සම්බන්ධයෙන් ඇමෙරිකානු නායක ට්‍රම්ප්, "නවසීලන්තයේ සිදුවන දේ කුමක්දැයි ඔබ දුටුවාද? ඔවුන් එය පරාජය කළා. හරියට මුල් පිටුව වගේ වුණා. මොකද ඔවුන්ට යමක් මට පෙන්වීමට අවශ්‍ය වුණා. ගැටලුව වන්නේ නවසීලන්තයේ දැන් විශාල නැගීමක්. එය භයානකයි." යනුවෙන් පසුගියදා අදහස් දක්වා තිබුණේ දින 100කට වැඩි ගණනක් කිසිදු ආසාදිතයෙකු වාර්තා නොවී සිටි නවසීලන්තයේ අලුත්ම සිද්ධීන් ඉස්මතු වීම අවඥාවට ලක්කරමිනි.
කෙසේ වෙතත් ඇමෙරිකානු නායකයාගේ 'භයානක' කතාවට දැඩි ප්‍රතිචාරයක් දක්වමින් නවසීලන්ත අගමැතිනී ජසින්ඩා ආර්ඩේන් කියා සිටියේ, "නවසීලන්තයේ වර්තමාන පොකුර හා එක්සත් ජනපදයේ දිනපතා දක්නට ලැබෙන දස දහස් ගණනක් අතර සැසඳීමක් ඇතැයි මා නම් කොහෙත්ම සිතන්නේ නැහැ. නිසැකවම, සෑම රටක්ම කොවිඩ්-19 සමග තමන්ගේම සටනක් අත්විඳිමින් සිටිනවා. එය උපක්‍රමශීලී වෛරසයක්. නමුත් නවසීලන්තයේ වර්තමාන තත්ත්වය එක්සත් ජනපදයට සංසන්දනය කරන්න කිසිසේත්ම අවස්ථාවක් නොවෙයි." යනුවෙනි.
මේ වනවිට එක්සත් ජනපදයේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 5,481,795ක් දක්වා මේ වනවිට ඉහළ ගොස් ඇති අතර, එරට මරණ සංඛ්‍යාව 171,799ක් ලෙස සටහන් වෙයි. ඊට සාපේක්ෂව නවසීලන්තයේ මේ වනවිට වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 1,649ක් සහ මරණ 22ක් පමණි. ඇමෙරිකානු නායකයා සිය රට සමග සසඳා තිබුණේ මේ අගයන්ය.