නයිජීරියාවේ, වයඹදිග කට්සිනා ප්රාන්තයේ ද්විතීයික පාසලක් වටලා ජිහාඩ් ත්රස්තවාදීන් එල්ල කළ ප්රහාරයකින් පසුව සිසු සිසුවියන් සිය ගණනක් අතුරුදන්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
AK-47 ගිනි අවිවලින් සන්නද්ධව පැමිණි ජිහාඩ් කල්ලියක් ද්විතීයික පාසලට කඩා වැදී ඇති බව පොලීසිය සහ ප්රදේශවාසීන් පවසයි. ප්රහාරකයින් යතුරුපැදිවලින් පැමිණ අහසට වෙඩි තැබීම සිදුකර ඇති අතර, බොහෝ දෙනෙකු ආරක්ෂාව පතා සී සීකඩ දිවගොස් තිබේ.
එම ස්ථානයේ ආරක්ෂාවට සිටි පොලිසිය සමග ප්රහාරකයන් වෙඩි හුවමාරුවක් සිදුකර ඇති අතර, සමහර සිසුන්ට ආරක්ෂිත ස්ථානයකට දිවයාමට එහිදී අවකාශය සැලසී තිබේ. මෙම වෙඩි හුවමාරුවේදී එක් පොලිස් නිලධාරියෙකු තුවාල ලබා ඇත.
ජිහාඩ් ත්රස්තයන්ගේ ප්රහාරය හමුවේ සැඟවීමට බොහෝ සිසුන් පාසල් වැට හරහා අසල ලඳු කැලෑ තුළට රිංගා ඇති අතර, එසේ විසිර ගිය සිසුන් 200ක් පමණ ආපසු පැමිණ තිබුණත් සිසුන් සිය ගණනක් තවමත් අතුරුදන්ව ඇති බව පොලීසිය පවසයි.
දෙමව්පියන් හා පාසල් සේවකයෙකු රොයිටර් පුවත් සේවයට පැවසුවේ පාසලේ ඉගෙනුම ලැබූ සිසුන් 800න් අඩක් පමණ අතුරුදන් වී ඇති බවය. සෝදිසි කිරීම සහ බේරා ගැනීම සඳහා අතිරේක බලකායන් යොදවන බව පොලිසිය පැවසීය.
මේ තත්ත්වය තුළ සිසුන් පිරිසක් පැහැර ගන්නට ඇති බව විශ්වාස කරන අතර, ජනාධිපති මුහම්මදු බුහාරි ප්රකාශකයක් නිකුත් කරමින් කියා සිටියේ ඔවුන් බේරාගැනීමට හමුදාව යොදවන බවය.
බොකෝ හරාම් ඉස්ලාමීය ජිහාඩ් ත්රස්තවාදීන්ගේ ප්රහාර රටේ ඊසානදිග ප්රදේශවල බහුලව දක්නට ලැබෙන අතර, මීට පෙරද මේ ආකාරයෙන්ම පාසල් සිසුන් හා සිසුවියන් පැහැරගත් අවස්ථා මෙන්ම සිසුවියන් ලිංගික වහලියන් ලෙස යොදාගත් සිද්ධීන්ද වාර්තා විය.