රජයේ තනතුරු දරන ඇතැම් නිලධාරීන් සිය තනතුරු භාවිත කරමින් ජනතාව පිඩාවට පත් කරමින් දේශපාලනය කිරීම නිසා අසරණ අහිංසක ජනතාවගේ ඉරි මාංශ උරා බොන තරමට ඇතැම් නිලධාරී මාෆියාවක් නිර්මාණය වී ඇති බවත් , මේ නිසාම ඇතැම් ආයතන කොමිස් කුට්ටි විශාල වශයෙන් හුවමාරු වන ස්ථාන බවට පත්ව ඇති බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසිය .
රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා අවධාරණය කළේ මෙම තත්ත්වය හමුවේ ධිවර කර්මාන්තය සේම ධිවර ජනතාව රැකගැනීමේ වගකීමෙන් දේශපාලකයාට හෝ නිලධාරීන්ට කිසිදු ගැලවීමක් නොමැති බවය .
සමස්ථ ලංකා මාදැල් හිමියන්ගේ සමුපකාර සමිතියේ 41 වන වාර්ෂික මහා සභා රැස්වීම අමතමින් ධිවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා මේ බව පැවසිය .
මේ මාදැල් කර්මාන්තය වෙනුවෙන් විශාල වැඩ කොටසක් ක්‍රියාත්මක කරන්න පසුගිය වසර 4 තුළ විශාල උත්සාහයක් ගත්තා . මේ කර්මාන්තය වෙනුවෙන් කල යුතු වැඩ ගොඩාක් පිළිබඳව යෝජනා ඉදිරිපත් කලා . නමුත් ඒ කිසි යෝජනාවක් ක්‍රියාත්මක වුනේ නැහැ . එයයි මට තියෙන කණගාටුව . ලංකාවේ ධීවර කාර්මාන්තයේ පුරෝගාමීන් තමයි මාදැල් කර්මාන්ත කරුවන් . මේ මීගමුවෙන් තමයි පළමු ධීවර කර්මාන්තය ආරම්භ කරලා තියෙන්නේ.
අද වනවිට ලංකාවේ ධීවර දිස්ත්‍රික්ක 14කම ධීවර කර්මාන්තය ක්‍රියාත්මක වෙනවා . ඒ දිස්ත්‍රික්ක 14 න්ම ධිවරයට බරපතළ ගැටලු වලට මුහුණ දීමට සිදුවෙලා තියෙන්නේ උතුරු හා නැගෙනහිර පළාත්වල විතරයි .
උතුරු හා නැගෙනහිර පළාත්වල මාදැල් ධිවර කර්මාන්තයේ නිරතවන ධිවර ජනතාව එම පළාත්වලින් පලවාහරින වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බව මේ මාදැල් හිමියන් අද කරුණු ඉදිරිපත් කළා . මේ රාජ්‍ය අමාත්‍යධුරය දරපු මේ වසර හතර තුළම මා වෙත වැඩිම මහජන ගැටලු ඉදිරිපත් වුණේ උතුරු නැගෙනහිර මාදැල් හිමියන් සහ සංක්‍රාමික ධිවර ජනතාව මුහුණ දෙන ගැටලුයි .
අද ජනතාවගේ ප්‍රෝටීන අවශ්‍යතාවයෙන් වැඩි ප්‍රමාණයක් සපුරන්නේ ධිවර ජනතාව . ජනතාවට අවශ්‍ය ඒ මත්ස්‍ය සම්පත ලබාදෙන්නේ මේ ජනතාව . ඒ වගේම තමයි රටට විශාල විදේශ විනිමයක් උපයාදීමට මේ ධිවර ජනතාව අද කැප වී සිටිනවා . ඒ නිසා මේ ධීවරයා වගේම ධිවර කර්මාන්තය රැකගැනීම ධිවර අමාත්‍යවරයාගේ වගේම ධිවර දෙපාර්තමේන්තුවේ වගකීමක් .ඒ වගකීමෙන් කිසිවකුට මිදෙන්න බැහැ . මාදැල් කාර්මිකයින් පන්දහසකට වැඩිය මේ කර්මාන්තයේ නිරතව ඉන්නවා . ඒ ජනතාවට තම තොටුපලට යන්න පාරක් නැහැ . වැසිකිලි කැසිකිලි කිසිම පහසුකමක් නැහැ . ඉන්න වාඩියක් හදාගන්න අවසරයක් නැහැ .
දැනට සකස්කරන මාදැල් නීති මාලාව සම්මත කරගැනීමට පෙර මාදැල් හිමියන් සමග සාකච්ජා කර තවත් අඩුපාඩු ඇත්නම් ඒ අඩුපාඩුද නැතිකර පාර්ලිමේන්තු අධික්ෂණ කාරක සභාව වෙත ඉදිරිපත් කරලා අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කටයුතු කරනවා යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය . "
