දෙවන ලෝක යුද සමයේ සටන් වැදි විරෝධාර රණවිරුවන්ට ජනපතිගෙන් පුෂ්පෝපහාර
දෙවන ලෝක යුධ සමයේ අභීතව සටන් වැදි විරෝධාර රණවිරුවන් සිහිකර පොළොන්නරුව, ලක්ෂඋයන, ගල්කොරිය ප්‍රදේශයේ ඉදිකළ සේවාමුක්ත භට රණවිරු ස්මාරකය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) පස්වරුවේ විවෘත කෙරිණි.
ජනාධිපතිතුමා ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව දෙවන ලෝක යුද්ධයට සහභාගි වී ජීවතුන් අතර සිටින රණවිරුවන් සහ මියගිය රණවිරුවන්ගේ ඥාතීන් විසින් ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්විම සිදු විය.
මියගිය රණවිරුවන්ට පින් පැමිණවීමේ ආගමික වතාවත් සඳහා ද ජනාධිපතිතුමා එක්විය.
එමෙන්ම පරාක්‍රම සමුද්‍රය ඞී 1 උතුරු ඇළ හරහා ලක්ෂ උයන , ඇතුමල්පිටිය යා කරමින් ඉදිකරන ලද නව පාලම ද ජනාධිපතිතුමා අතින් ජනතා අයිතියට පත් කෙරිණි.
එමෙන්ම පොළොන්නරුව ගිනිපෙට්ටි පාලමට සමාන්තරව නිර්මාණය කළ නව පාලම ඉතා කෙටි කාලයක් තුළ ඉදිකර අවසන් කිරීම වෙනුවෙන් දායකත්වය දැක්වූ පාර්ශ්වයන් වෙත ජනාධිපතිතුමා අතින් උපහාර තිළිණ 21ක් පිරිනැමීම ද ඊයේ (3) සිදු විය.
දෙස් විදෙස් ඉංජිනේරුවන් විසින් කරවන ලද පැරණි ජල පැන්නුමක් වන ගිනිපෙට්ට් පාලම අබලන් වීම හේතුවෙන් ඊට සමාන්තරව මේ නව පාලම ඉදිකර තිබේ.
ජනාධිපතිතුමාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක වන ”පිබිදෙමු පොළොන්නරුව” දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ මේ පාලම ඉදිකර තිබෙන අතර පාලමේ ඉදිකිරීම් නිමකිරීම සඳහා දායක වූ පිරිස් වෙත මෙලෙස ජනාධිපතිතුමා අතින් උපහාර සම්මාන පිරිනැමිනි.
නව ගිනිපෙට්ටි පාලම අබියස පැවැත් වූ උත්සවයක දී මෙකී උපහාර තිළිණ ප්රදානය කිරිම සිදු විය.
වයඹ පළාත් ආණ්ඩුකාර පේෂල ජයරත්න, නැගෙනහිර පළාත් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් කේ.පී.ඒ. ජයසේකර, නැගෙනහිර පළාත් ඉදිරි නඩත්තු පෙදෙස ආඥාපති මේජර් ජෙනරාල් එම්. මුන්දනායක, ව්‍යාපෘති අධ්යක්ෂ මේජර් ජනරාල් එස්. රණසිංහ, වයඹ හා උතුරු මැද පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ, හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරි එයාර් කොමදෝරු වී.බී. එදිරිසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථා සඳහා එක්ව සිටියහ.
කෂිනි හපුආරච්චි

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

