දැඩි හිරු රශ්මියෙන් සිසුන් ආරක්ෂා කර ගැනීමට නිර්දේශ
මේ දිනවල පවත්නා දැඩි හිරු රශ්මිය සහ ඒ හේතුවෙන් මතුව ඇති අධික උෂ්ණත්වය සහිත කාලගුණ තත්ත්වය හමුවේ පාසල් මට්ටමින් ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධ ව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශය විසින් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත නිර්දේශ ලබා දී ඇත.
පවත්නා අධික උෂ්ණත්වය හේතුවෙන් ආතතිය, මස් පිඩු පෙරලීම, සිහි මූර්ච්ඡාව, හෘද රෝග හා පෙනහලු රෝග වැනි නිදන්ගත රෝග උත්සන්න වීමක් දක්නට ලැබෙන බවත්, මෙවැනි සංකූලතා ඇතිවීමට ලක්වන අවදානම් කණ්ඩායමක් ලෙස ළමුන් හඳුනාගෙන ඇති බවත් එමඟින් පෙන්වා දී තිබේ.
ඒ අනුව, ඉහත සංකූලතාවන්ගෙන් පාසල් දරුවන් ආරක්ෂා කරගැනීමට පහත ක්‍රියාමාර්ග ගැනීම යෝග්‍ය බව ද සෞඛ්‍ය කාර්යාංශය දන්වා සිටියි.
නිතර නිතර ජලය පානය කිරීම, සීනි අධික බීම භාවිතයෙන් වැළකීම, එළිමහනේ සිටින විට ඔලුව වැසෙන සේ තොප්පි පැළඳීම, එළිමහනේ ගමන්කරන සෑමවිට ම කුඩයක් පාවිච්චි කිරීම, අනවශ්‍ය පරිදි එළිමහනේ ගැවසීම අවම කිරීම, ලා පැහැති සැහැල්ලු ඇඳුම් ඇඳීම, අධික රස්නය ඇතිවිට මුහුණේ සහ අත්වල වතුර ගෑම, දෛනික ව වඩාත්ම උෂ්ණත්වය වැඩි වන කාල පරාසය වන පෙ.ව. 11.00 හා ප.ව. 3.00, 3.30 තුළ එළිමහනේ අධික දහඩිය දමන ව්‍යායාම නොකිරීමට ද ඒ අනුව උපදෙස් ලබා දෙන ලෙස දැනුම් දී තිබේ.
එමෙන් ම, පාසල තුළ බීමට ජලය ඇති පමණ සපයා තිබීම, හැකිනම් කඩදාසිවලින් සෑදූ අවානක් රැගෙන ඒමට උපදෙස් දීම, විශේෂයෙන් ම පාසල්වල ප්‍රථමාධාර කණ්ඩායම් මේ සම්බන්ධ ව දැනුවත් කර හා පුහුණු කර තිබීම, ළමුන් හා ගුරුවරුන් ද දැනුවත් කිරීම,
සෞඛ්‍ය ගැටළු මූලික අවස්ථාවේ දී ම හඳුනාගනිමින් ප්‍රථමාධාර ලබාදීම හා ගැටළුසහගත අවස්ථාවල දී වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීම, ශරීරය වියළීම වළක්වා සිසිල් කරගැනීමට පන්ති මට්ටමෙන් ජල බඳුන් තැබීම, පන්ති කාමර සඳහා වාතාශ්‍රය හොඳින් ලැබීමට දොර ජනෙල් විවෘත ව තැබීම, රෝගී තත්ත්වයන් සහිත දරුවන් සුව වන තෙක් පාසලට නොඑවීමට දෙමාපියන් දැනුවත් කිරීම ට ද පාසල් මට්ටමින් පියවර ගත යුතුය.
popular news
-
Kumar Wednesday, 12 February 2020 07:48 AM
ලංකාවේ දරුවන්ගේ යහපතට මෙවැනි දෙයක් කරන එක අගය කරන්න ඕනෙ. වැඩිහිටියන්ටත් තමන්ගේ යහපතට මෙය සුදුසු ක්‍රියා මාර්ගයක්. මෙරටේ බොහෝදෙනා අතේ පානයට ජලය ගෙන යනවා. ඇස්, අධික පරාජම්බල කිරණවලින් ආරක්ෂා කරගැනීමට කළු ඇස් කන්නාඩි පළදිනවා. ඒ වැනි කිරණ වලින් ඇස් ආරක්ෂා කිරීමෙන් ඇසෙ සුද ඇතිවෙන්නේ නැතිලු. කළු කන්නාඩි ගන්නවානම් UV ආරක්ෂාව ඇති තමන්ට ගැලපෙන කන්නාඩියක් ගන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

