මෙරට ගොවි සංවිධාන සහ මාධ්‍ය ආයතන මඟින් සිදු කරන ලද ඉල්ලීමකට අනුව දිවයිනේ පළමු සහල් ආර්ථික මධ්‍යස්ථානය දඹුල්ලේ ආරම්භ කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මෙන්ම විෂයභාර අමාත්‍ය වරු සමඟ සාකච්ඡා කොට ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා 28 දින පැවසීය.
මෙරට පවතින සහල් මාෆියාව වී මාෆියාව තුරන් කිරීම සඳහා මාතලේ ,පොළොන්නරුව, අනුරාධපුර ආදී දිස්ත්‍රික්ක කිහිපයක ගොවි සංවිධාන නියෝජිතයන් මෙන්ම මාධ්‍යවේදීන් සිදුකරන ලද සමීක්ෂන වාර්තා අනුව තමන්ගෙන් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් මෙම සහල් අලවිකරණ ගොවි ආර්ථික මධ්‍යස්ථානය පිළිබඳව අවධානය යොමු වී ඇතැයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මෙම නව වැඩසටහන ක්‍රියාත්මක කළහොත් දේශීය වී ගොවියාට තම වී අලෙවි කරන ක්‍රමවේදය සම්පූර්ණයෙන් නවතා සහල් අලෙවි කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ හැකි බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
දිවයිනේ සෑම දිස්ත්‍රික්කය කින්ම එළවළු අස්වැන්න අලෙවි කිරීම සඳහා ගොවීන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණෙයි. එසේ පැමිණෙන අවස්ථාවන්හිදී දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට සමගාමීව නව හල් ආර්ථික මධ්‍යස්ථානයක් ඉදි කළ හොත් ගොවීන්ට තමන් නිෂ්පාදනය කරන ලද වී තම ප්‍රදේශයේ මෝල් වලින්ම සහල් බවට පත්කොට සහල් ටික ද රැගෙන විත් සහල් ආර්ථික මධ්‍යස්ථානයේ දී අලෙවි කොට එළවළු පලතුරු ආදී සියල්ල අලෙවි කර ගෙන නැවත ගොවිබිම බලා ගමන් කිරීමට හැකි බව ද ආර්ථික මධ්‍යස්ථානයට එළවළු ධාන්‍ය වර්ග මිලදී ගැනීම සඳහා පැමිණෙන වෙළෙන්දන්ට ආර්ථික මධ්‍යස්ථානය උපයෝගී කරගෙන අඩු මුදලකට පිරිසිදු සහල් තොග මිලදී ගෙන තම වෙළඳ මධ්‍යස්ථානය වෙත රැගෙන යෑමේ හැකියාවක් පවතින බව මෙම සංවිධාන තමා වෙත පෙන්වා දී තිබුණු බව අමාත්‍යවරයා පැවසීය.
මෙම සහල් ආර්ථික මධ්‍යස්ථාන ක්‍රියාවලිය ආරම්භ කළහොත් මෙරට හාල් මාෆියාවට වී මාෆියාවට ගොවීන් විසින්ම තිත තබා මෙරට ග්‍රාමීය රැකියා රැසක් නැවත ආරම්භ වන බවත් ගොවියා තම කුඹුරේම වී ටික කුඹුරෙන් ම ව්‍යාපාරිකයන්ට අලෙවි කරන ක්‍රමවේදය වෙනස් කොට වී ගොවියා සහල් නිෂ්පාදකයකු බවට පත්වන බව අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා අවධාරණය කළේය.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේ රජයේ ඉඩම් පවතින බවත් සුදුසු ව්‍යාපාරික ඥානයක් ඇති පුද්ගලයන්ට මෙම සහල් ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳාම් කටයුතු සිදු කිරීමට හැකි බව පෙන්වා දුන් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ මෙම සහල් ආර්ථික මධ්‍යස්ථානය තුළ ගොවීන් වෙනුවෙන් සහන රැසක් ඇති කිරීම මෙය හුදෙක් මෙරට ගොවින් වෙනුවෙන්ම මෙන්ම බහුතර පාරිභෝගික ජනතාව වෙනුවෙන් සිදු කරන ක්‍රියාවලියක් බව ය.