බඩඉරිඟු මිලට ගත් තොග ගබඩාකරුවන් සහ අතරමැදියන් බඩඉරිඟු තොග ඉදිරි සති දෙක තුළ නිදහස් නොකළොත් බඩඉරිඟු ආනයනය සඳහා ඉඩ ලබාදෙන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා සඳහන් කළේය.
ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති කෘෂිකර්ම අමාත්‍යාංශයේ ප්‍රගතිය හා ඉදිරි සංවර්ධන වැඩසටහන් පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
මේ වනවිට ගොවීන් ළඟ බඩඉරිඟු නෑ. තොග ගබඩාකරුවන් සහ අතරමැදියන් අත තමයි බඩඉරිඟු තියෙන්නේ. අපි ඉල්ලීමක් කළා රු. 45 සිට රු. 52 දක්වා මිලට බඩඉරිඟු තොග කුකුල් ව්‍යාපාරයේ යෙදී සිටින අයට සත්ව ආහාර සඳහා නිදහස් කරන්න කියලා. සත්ව ආහාර සඳහා මේවා නිකුත් නොකළොත් ඉදිරියේදී මස් හා බිත්තර මිල ඉහළ යාම සිදුවෙන්න පුළුවන්. ඒ නිසා ඉක්මනින් තොග නිදහස් කරන්න. නැත්නම් ආනයනයට ඉඩ ලබා දෙනවා යැයි පැවසීය.
