තෙල් සංස්ථාවේ අක්‍රමිකතා රැසක් කෝප් කමිටුවේදී එළියට
මෙහිදී 2020 සහ 2021 වර්ෂය සදහා විගණකාධිපති වාර්තා හා වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂා කිරීම සිදුවූ අතර විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් මාපා පතිරණ,ලංකා ඛතිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති සාලිය වික්‍රමසූරිය යන මහත්වරුන් ඇතුළු තවත් නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට කැඳවා තිබිණි.
තෙල් ගබඩා කිරීමේ ධාරිතාවය වැඩිකිරීම සම්බන්ධයෙන් ගෙන ඇති පියවර පිළිබඳ මෙහිදී කෝප් කමිටුවේ අවධානය යොමු විය. මෙහිදී පැමිණි නිලධාරීන් පෙන්වා දුන්නේ මෙට්‍රික් ටොන් 29000 ක් පමණ අලුතෙන් ධාරිතාවට එක් කොට ඇති බවයි. මේ දක්වා පැවති මෙට්‍රික් ටොන් 450000 ට මෙම ප්‍රමාණයද එකතු වී ඇති බව මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
කොලොන්නාව පර්යන්තය දක්වා දිවෙන නල මාර්ගයේ වර්තමාන තත්ත්වය පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය. මෙහිදී නල මාර්ගය අවට පවතින අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම සිදු කළ ආකාරය පිළිබඳව නිලධාරීන් පෙන්වා දුන් අතර නැවත මෙම නල මාර්ගය අවට අනවසර ඉදි කිරීම් නොකිරීමට ගෙන ඇති පියවරද විමසා සිටියේය. මෙහිදී නිලධාරීන් සඳහන් කළේ මෙම ප්‍රදේශ ආරක්ෂිත කලාපයක් බවට පත් කොට හමුදා ආරක්ෂාව යොදා ඇති බවයි.
ඉන්ධන නැව් සඳහා ගෙවීමට සිදුවන ප්‍රමාද ගාස්තු සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කිරීම සිදු විය. මෙහිදී නිලධාරීන් සඳහන් කළේ 2023 වර්ෂයේ නැව් ප්‍රමාද ගාස්තු නොමැති බවත් 2021 හා 2022 වර්ෂවල නැව් ප්‍රමාද ගාස්තු තවමත් පවතින බවත්ය. එසේම මේ සම්බන්ධයෙන් විශේෂ විගණන පරීක්ෂණයක් ආරම්භ කොට ඇති බවත් මාසයක් ඇතුළත එම වාර්තාව සකස් කර අවසන් කරන බවත් විගණකාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

එම වාර්තාව සකස් කිරීමෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ හැකි බවද විගණකාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. එසේම ගිවිසුම්ගතවූ පරිදි බොරතෙල් ලබා නොදීම නිසා අයවිය යුතු ඩොලර් මිලියන 21 ක මුදලක් අයකරගැනීමට පියවර ගෙන ඇත්ද යන්න සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු විය.
රටේ ඉල්ලුමට සරිලන ආරක්ෂක ඉන්ධන තොග පවත්වාගෙන යාම පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය. විශේෂයෙන්ම මෙහිදී රටේ හදිසි අවස්ථාවකදී උපයෝජනය කිරීමට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය පවත්වාගෙන යාම පිළිබඳ ඇති හැකියාව කමිටුව විසින් පිරික්සීම සිදු විය. මෙහිදී ඩීසල් මෙට්‍රික් ටොන් 60000 ක් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 45000 ක් පවත්වාගෙන යන බව නිලධාරීන් පෙන්වා දුන්නේය. මේ අනුව කෝප් කමිටුව පෙන්වා දුන්නේ ප්‍රමාණවත් තරම් ආරක්ෂක තෙල් තොග නොපවතින බව නිරීක්ෂණය වන බවයි.
Ship to Party ක්‍රමය යටතේ බෙදුම්කරුවන් මගින් පාර්භෝගිකයන්ට ඉන්ධන තොග වශයෙන් බෙදා හැරීමේදී වන පාඩුව පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය. මෙහිදී කෝප් කමිටුව පෙන්වා දුන්නේ මෙම ක්‍රමය බෙදාහරින්නන්ට වියදමකින් තොරව ලාබ ලැබෙන ක්‍රමයක් බවයි. එහිදී ඉන්ධන බෙදාහැරීම සඳහා බෙදුම්රුවන්ට කිසිදු පිරිවැයක් දැරීමට සිදු නොවන තත්ත්වයක් තුළ සාමාන්‍ය පරිදි කොමිස් ගෙවා තිබූ අතර 2022 මැයි දක්වා පසුගිය මාස 12 ක කාලය තුළ පමණක් රු. 218,985,941 ක් කොමිස් ලෙස ගෙවා ඇති බවත් පෙන්වා දුන්නේය.
එසේම තෝරාගත් සීමිත බෙදුම්කරුවන් පිරිසක් සඳහා මෙම ක්‍රමය භාවිත කොට ඇති බවද නිරීක්ෂණය විය. මෙහිදී නිලධාරීන් පෙන්වා දුන්නේ මේ වන විට මෙම ක්‍රමය සම්පූර්ණයෙන්ම නවතා ඇති බවයි. මේ අනුව සති දෙකක් ඇතුළත වගකිවයුතු නිලධාරීන් සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග ද ඇතුළත් කරමින් මේ සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් කෝප් කමිටුවට ලබා දෙන ලෙසත් කමිටු සභාපතිවරයා නිර්දේශ කළේය.
විධිමත් තහවුරුකරගැනීමකින් තොරව ලැබිය යුතු ශේෂ කපාහැරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය. මෙහිදී 2021 ජූලි 22 දිනැති අධ්යක්ෂ මණ්ඩල තීරණයකට අනුව ප්‍රමාණවත් තොරතුරු නොමැතිකම හේතුවෙන්, සංස්ථාවේ ගිණුම් පොත් වලින් රු. මිලියන 1,516ක ලැබිය යුතු ශේෂය කපාහැරීමට අනුමතිය දී ඇති බව අනාවරණය විය. මේ අනුන මෙම කරුණ සහ සංස්ථාවට අදාළ තවත් වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට හිටපු සභාපතිවරු ඇතුළු අධ්යක්ෂ මණ්ඩල 3ක් 2024 ජනවාරි 09 දින කෝප් කමිටුවට කැඳවීමට තීරණය කෙරුණි.
තවද ලංකා ඛතිජතෙල් නීතිගත සංස්ථාවට දැනට තිබෙන වෙළඳපොළ කොටස අනාගතයේදී අඩුවීමට හැකි බවත් ඒ සම්බන්ධයෙන් ප්‍රතිව්‍යුහගතකිරීමේ අවශ්‍යතාවක් මතුවන බවත් කෝප් කමිටු සභාපතිවරයා පෙන්වා දුන්නේය. එසේම ලංකා ඛතිජතෙල් නීතිගත සංස්ථාවට කලින් පැවති ඒකාධිකාරිය මේ වන විට කතිපයාධිකාරිත්වයක් ඇති වන බවද සභාපතිවරයා පෙන්වා දුන් අතර ඉදිරි වෙළඳපොළ ගැනද අවධානය යොමු කළ යුතු බවද හෙතෙම පෙන්වා දුන්නේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

