තැපැල් දෙපාර්තමේන්තුවේ ලාංඡනය වෙනස් කර නව ලාංඡනයක් හඳුන්වාදීම සඳහා මේ දිනවල යෝජනා කැඳවන බවත්, අගෝස්තු 31 වැනිදායින් මහජන යෝජනා භාර ගැනීම නතර කරන බවත් තැපැල්පති රංජිත් ආරියරත්න මහතා ඊයේ (30දා) පැවසීය.
එමෙන්ම දැනට සිරකළ කුරුල්ලෙකුගේ රුව සහිතව නිර්මාණය කර ඇති තැපැල් ලාංඡනය පියාපත් විහිදින ලද කුරුල්ලෙකුගේ රුව දිස්වන අයුරින් සකස් කිරීම කෙරෙහි අවධානය යොමු වී තිබෙන බවත්, තැපැල් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිසීමෙන් මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබාගත හැකි බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
තැපැල් දෙපාර්තමේන්තුව මහජනතාවට අතශ්‍යවශ්‍ය සේවා සේවා රැසක් පවත්වාගෙන ගියද මහා භාණ්ඩාගාරයෙන් අගය කිරීමක් නොලැබෙන බවද තැපැල්පතිවරයා සඳහන් කළේය .
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලයේ තැපැල් කටයුතු සිදුකිරීමට අවස්ථාව ලබාදී තිබුණද මෙම අගය කිරීම නොලැබෙන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට වසරකට රුපියල් 350,000ක තැපැල් ගාස්තු ලබාදෙන බවත්, තැපැල් දෙපාර්තමේන්තුවට ඉන් ආදායමක් නොලැබෙන බවත් තැපැල්පතිවරයා සඳහන් කළේය.
එසේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාම මෙම පහසුකම ලබාගන්නා බවත්, කිසිදු දේශපාලන පක්ෂයක මන්ත්‍රීවරයෙකු මේ දක්වා එම පහසුකම ප්‍රතික්ෂේප කර නොමැති බවත් හෙතෙම පවසා සිටියේය.
තැපැල් ගාස්තු සඳහා වෙන් කර ඇති මුදල ඇතැම් මන්ත්‍රීවරුන්ට ප්‍රමාණවත් නොවන අවස්ථා තිබෙන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් රංජිත් ආරියරත්න මහතා මේ බව පවසා සිටියේය.
උප තැපැල් කාර්යාල නඩත්තු කිරීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් මුදලක් නොලැබෙන බවත්, ඒ සඳහා තැපැල් ස්ථානාධිපතිවරුන් විසින් වියදම් දරන බවත් ඒ මහතා පැවසීය.
මෙම තත්ත්වය තුළ ග්‍රාමීය මට්ටමින් පිහිටුවන සේවා පියස මධ්‍යස්ථාන තුළට උප තැපැල් කාර්යාල ගෙන යාමේ වැදගත්කම පැහැදිලි කරමින් තැපැල් දෙපාර්තමේන්තුව රජයට යෝජනා ඉදිරිපත් කර තිබෙන බවද තැපැල්පතිවරයා සඳහන් කළේය.
වතුකරයේ ලියුම් බෙදාහරින්නන් 100ක් ඇතුළු තැපැල් සේවා නිලධාරීන්ගේ පුරප්පාඩු 1,000කට වඩා පවතින බවත්, මේ හේතුවෙන් තැපැල් කාර්යාලවල කටයුතු නිසි කළමනාකරණයකින් සිදුකරගත නොහැකිව දුර්වල වී තිබෙන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
එසේම ඇතැම් තැපැල් කාර්යාලවල තනි නිලධාරියෙකු සියලු කටයුතු සිදුකරන බවත්, තැපැල් නිලධාරීන්ගේ පුරප්පාඩු සම්පූර්ණ කරන ලෙස රජයෙන් ඉල්ලා තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය.
තැපැල් සේවක වෘත්තීය සමිති විසින් 6/2006 චක්‍රලේඛයට අදාළව ඉදිරිපත් කර ඇති ඉල්ලීම් සඳහා මහා භාණ්ඩාගාරය එකඟතාවක් පළකරනු ඇතැයි විශ්වාස කරන බවත්, මීට අදාළව කැබිනට් පත්‍රිකාවක් සකස් කර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදුන් බවත් රංජිත් ආරියරත්න මහතා පැවසීය.
මේ අතර තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යංශය විසින් එළඹෙන 03 සහ 04 වැනිදා යන දිනවලදී මුද්දර ප්‍රදර්ශනයක් සංවිධානය කර තිබෙන බවද රංජිත් ආරියරත්න මහතා වැඩිදුරටත් පවසා සිටියේය.
