කොවිඩ්-19 වෛරසය සඳහා ධනාත්මක වී ඇති එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බිරිඳ වන මෙලානියා ට්‍රම්ප් හැරුණු විට, ඔහුගේ අතිශය සමීපතම සහායිකාවන් කිහිප දෙනෙකුම වෛරසයට ධනාත්මක වී ඇති බව තහවුරු වී තිබේ.
හෝප් හික්ස්
ජනාධිපතිවරයා වෛරසයට ධනාත්මක බව ප්‍රකාශ කිරීමට පෙර වෛරසයට ධනාත්මක බව තහවුරු කළ ඔහුගේ අතිශය සමීප සහායිකාව වූයේ හෝප් හික්ස්ය. ඇය මෑතකදී ජනාධිපතිවරයා සමග කිහිප වතාවක් සංචාරය කළ අතර, පසුගිය සතියේ අඟහරුවාදා ක්ලීව්ලන්ඩ් හි පැවති විවාදය අවස්ථාවට මෙන්ම, ට්‍රම්ප් මිනසෝටා හි මැතිවරණ ප්රචාරක රැලියකට යමින් සිටියදී ඇය ජනාධිපතිවරයා සමග හෙලිකොප්ටරයට ගොඩවිය. 31 හැවිරිදි වියේ පසුවන හික්ස් වෘත්තියෙන් නිරූපිකාවක වූ අතර, ඇය කාලයක් පුරා ජනාධිපතිවරයාගේ අතිශය සමූප සේවිකාවක ලෙස කටයුතු කරයි.
කයිලි මැක්නානි
එක්සත් ජනපදයේ ධවල මන්දිර මාධ්‍ය ලේකම්වරිය ලෙස කටයුතු කරන කයිල් මැක්නානිද ඊයේ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ තමන් වෛරසයට ධනාත්මක වී ඇති බවය. ජනාධිපතිවරයාගේ අතිශය සමීප සේවිකාවක වන කයිලි, ජනාධිපතිවරයා ආරක්ෂා කිරීම වෙනුවෙන් මාධ්‍ය ඉදිරියේ බොහෝ සේ වෙහෙසන චරිතයක් ලෙස ප්රකටය.
කැරොලයින් ලෙවිට්
ධවල මන්දිරයේ සහකාර මාධ්‍ය ලේකම්වරිය ලෙස කටයුතු කරන කැරොලයින් ලෙවිට් වෛරසයට ධනාත්මක ඇති බව එක්සත් ජනපද මාධ්‍ය වාර්තා කරයි. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මාධ්‍ය ඒකකයේ ප්‍රබල චරිතයක් ලෙස සැලකෙන ලෙවිට්ද ජනාධිපතිවරයා සමගම වෛරසයට ධනාත්මක වූ පිරිස අතර වෙයි.
කෙලියන් කොන්වේ
ජනාධිපතිවරයාගේ හිටපු උපදේශිකාවක වූ කෙලියන් කොන්වේද කොවිඩ්-19 වෛරසය සඳහා ධනාත්මක වූ පිරිස අතර වන අතර, ඇයද ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමීපතම සේවිකාවක ලෙස සැලකිණි.
රොනා මැක්ඩැනියෙල්
ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝජනය කරන රිපබ්ලිකන් පක්ෂ ජාතික කමිටුවේ සභාපතිනිය ලෙස කටයුතු කරන රොනා මැක්ඩැනියෙල්ද කොවිඩ්-19 සඳහා ධනාත්මක වූ ජනාධිපතිවරයාගේ සමීප හිතවතුන් අතර කෙනෙකි.