ශ්‍රී ලංකාවේ පාසල් ක්‍රීඩා ක්ෂේත්රයේ සංවර්ධනය වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක කරන ලද වැඩසටහන් හා ක්‍රියාමාර්ග අතර පළාත්, ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ විශිෂ්ට කුසලතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3,888ක් පාසල් ක්‍රීඩා පුහුණුකරුවන් ලෙස පාසල් පද්ධතියට බඳවාගැනීමේ වැඩපිළිවෙළ සුවිශේෂ ක්‍රියාමාර්ගයක් බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අනුව, පසුගිය අප්‍රේල් මාසයේ දී අධ්‍යාපන පද්ධතිය වෙත අලුතින් බඳවාගත් එම පාසල් ක්‍රීඩා පුහුණුකරුවන් අතරින් පළමු අදියරේ දී පුහුණුව අවසන් කළ 3365 දෙනෙක් ජුලි 29 වැනි දින ජාතික හා පළාත් පාසල් වෙත මුදාහැරීමට නියමිතයි.
මෙරට පාසල් ක්‍රීඩා ඉතිහාසය තුළ ක්‍රීඩාව ඉහළ නැංවීම වෙනුවෙන් එකවර හාරදහසකට ආසන්න ක්‍රීඩා පුහුණුකරුවන් බඳවාගත් ප්‍රථම අවස්ථාව මෙය වන අතර, මෙම පුහුණුකරුවන් බඳවාගැනීම මඟින් අපේක්ෂා කරනුයේ, පාසල් ක්‍රීඩා පිටියෙහි රැඳෙමින් තමන් ලැබූ ප්‍රායෝගික අත්දැකීම් යොදාගනිමින් අනාගතයේ දී ජාත්‍යන්තරය ජයගත හැකි ක්‍රීඩා කුසලතා සහිත දූ දරුවන් බිහිකිරීම වෙනුවෙන් දායකත්වය ලබාගැනීමයි.
අධ්‍යාපන පද්ධතියට අලුතින් එක්කරගත් මෙම ක්‍රීඩා පුහුණුකරුවන් වෙත ක්‍රීඩාව පිළිබඳ විෂය ප්‍රවීණයින් සහ වෘත්තීය විශේෂඥයින් යොදාගනිමින් පළාත් මධ්‍යස්ථාන හතක් (7) තුළ පවත්වන ලද නේවාසික පුහුණුවක් ද, පාසලකට අනුයුක්ත කොට ලබාදෙන පුර්ව සේවා පුහුණුවක් ද ලබාදෙන ලදී.
මීට අමතරව මෙම වැඩපිළිවෙළෙහි දෙවැනි අදියර යටතේ බඳවාගත් ක්‍රීඩා පුහුණුකරුවන් ද මේ වනවිට පූර්ව සේවා පුහුණුව ලබමින් සිටින අතර, ඔවුන් ද එළඹෙන අගෝස්තු මාසයෙන් පසුව පාසල් පද්ධතිය වෙත යොමුකිරීමට නියමිත ය.
