වෙළෙඳ, සංචාරක, අධ්‍යාපන ඇතුළු ක්ෂේත්‍ර රැසක ප්‍රවර්ධනය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය නායකයන් සහ නියෝජිතයන් සමග සාකච්ඡා කරයි.
ස්කොට්ලන්තයේ ග්ලාස්ගොහි පැවැත්වෙන COP :26 එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාජ්‍ය නායක සමුළුවට සහභාගිවී සිටින ජනාධිපතිතුමා ඊයේ (02) මෙම සාකච්ඡාවන්හි නිරත විය.
ශ්‍රී ලංකාව සහ බහරේන් රාජ්‍ය අතර දිගුකාලීන මිතුදම තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳ ජනාධිපතිවරයා සහ බහරේන් රාජකීය කුමරු වන අග්‍රාමාත්‍ය සලමන් බීන් හමාඩ් අල්කලීෆා මහතා සාකච්ඡා පැවැත්වීය. ගෘහ සේවය වෙනුවට වෘත්තීය නිපුණතාවන්ගෙන් යුත් ශ්‍රී ලාංකිකයන්ට බහරේන් රාජ්‍ය තුළ රැකියා අවස්ථා උදාකර ගැනීම ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි.
ශ්‍රී ලංකන් ගුවන් සේවය නේපාලය සහ ශ්‍රී ලංකාව අතර සතියකට ගුවන් ගමන් 04ක් සිදු කරයි. එම ගුවන් වාර සංඛ්‍යාව වැඩි කිරීම, දෙරට අතර සංචාරක සහ අධ්‍යාපන ක්ෂේත්රවල ප්‍රවර්ධනය පිළිබඳ ජනාධිපතිතුමා සහ නේපාල අග්‍රාමාත්‍ය ෂා බහදුර් දෙව්බා මහතා අතර සාකච්ඡා කෙරිණ.
පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් පැට්ට්‍රිෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය සහ ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මහතා අතර හමුව ග්ලාස්ගොහි මර්චන්ට් මන්දිරයේ දී සිදු විය.
පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල වෙළෙඳපොළ අවස්ථා පුළුල් කර ගැනීමට සහාය වන බව පැට්ට්‍රිෂියා මහත්මිය ජනාධිපතිතුමා සමග පැවසුවාය.
වේල්සයෙහි ඔටුන්න හිමි චාල්ස් කුමරු, යුක්රේන ජනාධිපති බ්ලැඩ්මීර් සෙලෙන්ස්කි මහතා, ලෝක වෙළෙඳ සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් නගෝසි ඔකොන්ජෝ මහත්මිය මෙන්ම මැදපෙරදිග සහ බටහිර රටවල රාජ්‍ය නායකයන් සහ රාජ්‍ය නියෝජිතයන් හමු වූ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ සංචාරක, ආර්ථික ඇතුළු ක්ෂේත්‍ර රැසක නව අවස්ථා උදා කර ගැනීම පිළිබඳ සාකච්ඡා පැවැත්වීය.
විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සරෝජා සිරිසේන යන මහත්ම මහත්මීහු ද මෙම සාකච්ඡාවන්ට එක්ව සිටියහ.