ආසියාවේ අන්තර් ක්‍රියා හා විශ්වාසය ගොඩනැංවීමේ පියවර පිළිබඳ 05 වන සමුළුව සඳහා සහභාගීවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (13දා) පෙරවරුවේ තජිකිස්ථානය බලා පිටත්ව ගියේය.
මෙම සමුළුව ආසියාවේ සාමය, ආරක්ෂාව හා ස්ථාවරභාවය ප්‍රවර්ධනය කිරීම පිළිබඳ සහයෝගීතාව වැඩිදියුණු කිරීමේ අරමුණින් 1992 වසරේ දී ස්ථාපිත කරන ලද බහුජාතික සංසදයකි. ශ්‍රී ලංකාව 2012 වසරේ සිට එහි නිරික්ෂණ රාජ්‍යයක් ලෙස කටයුතු කොට ඇත.
එහි සාමාජික රාජ්‍ය 26 විසින් 2018 අගෝස්තු 15 වැනි දින ශ්‍රී ලංකාව සාමාජික රටක් ලෙස පිළිගනු ලැබීය. ශ්‍රී ලංකාව මෙම සමුළුවේ සාමාජිකත්වය ලබාගැනීම එහි සෙසු සාමාජික රාජ්‍යයන් සහ ශ්‍රී ලංකාව අතර පවත්නා ද්විපාර්ශ්වික, ආර්ථික හා වෙළඳ සහයෝගීතාව මෙන්ම අන්තර් පුද්ගල සබඳතා ද තවදුරටත් වැඩිදියුණු කිරීමට ඉවහල් විය.
මෙම සමුළුවේ සාමාජික රාජ්‍යයන් අතර ඇෆ්ගනිස්ථානය, අසර්බයිජානය, බහරේනය, බංගලාදේශය, කාම්බෝජය, චීනය, ඊජිප්තුව, ඉන්දියාව, ඉරානය, ඉරාකය, ඊශ්‍රාලය, ජෝර්දානය, කසකස්ථානය, කිරිගිස්ථානය, මොංගෝලියාව, පාකිස්ථානය, පලස්තීනය, කටාරය, කොරියාව, රුසියාව, තජිකිස්ථානය, තායිලන්තය, තුර්කිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, හා වියට්නාමය යන රටවල් වේ. සමුළුව ජූනි 14 සහ 15 දෙදින තජිකිස්ථානයේ දුෂාන්බේ නරගයේ දී පැවැත් වේ.
ජනාධිපතිවරයා ජූනි 15 දා පැවැත්වෙන රාජ්‍ය නායක සමුළුවේ දී සිය දේශනය ඉදිරිපත් කිරීමට නියමිතය.
සිය තෙදින නිල සංචාරයේ දී ජනාධිපතිවරයා තජිකිස්ථාන ජනාධිපති ඉමෝමාලි රාමොන් මහතා ඇතුළු එරට රජයේ ඉහළ පෙළේ නියෝජිතයන් කිහිප දෙනෙකු සමඟ ද සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
