ගෙවි ගිය වසර දෙක තුළ ආණ්ඩුවෙන් සිදුවු අඩුපාඩු වැරදි හා නොවිය යුතුව තිබු දේවල් නිවැරදිව තේරුම් ගනිමින් නිවරැදි තක්සේරුවක සිට කටයුතු කළහොත් ඉදිරි වසර තුන තුළ ජනතාවගේ විශ්වාසය බලවත්ව දිනාගැනිම ආණ්ඩුවට ඉටුකරගත නොහැකි දෙයක් නොවන බව කර්මාන්ත අමාත්‍ය ජාතික නිදහස් පෙරමුනේ නායක විමල් විරවංශ මහතා අවධාරණය කරයි.
ඒ මහතා මේ අදහස් පළ කළේ අද මොරටුව පිහිටි ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ පැවති කුඩා පරිමාණ ඇඟලුම් කර්මාන්තකරුවන් පිරිසක් සවිමත් කිරිම සඳහා මහන මැෂින් ලබාදිමේ වැඩසටහනට එක්වෙමිනි.
එහිදි විමල් විරවංශ මහතා මෙසේද සඳහන් කළේය,
“ජනාධිපතිතුමන් ප්රමුඛ අපේ රජය මේ දෙවසරක ගමන පිළිබදව ගැඹුරු ස්වයං විවේචනාත්මක හැරි බැලිමක් සිදු කරමින් සිටින මොහොතකයි මේ තමුන්නාන්සේලා අමතන්නේ. අපෙන් සිදුවු වැරදි අඩුපාඩු හා නොවිය යුතුව තිබු දේවල් මොනවාද කියන ඒක හරියට තේරුම් අරන් තක්සේරු කරලා ඉදිරියට ගියොත් මේ ඉදිරි වසර තුන තුළ මේ රටේ ජනතාවගේ විශ්වාසය වඩා බලවත්ව දිනාගැනිම ඉටුකරගත නොහැකි කරුණක් නොවෙයි.
එතැනදි අපි අවංක විය යුතුයි. ජනතාව සිතන ආකාරය තේරුම් ගත යුතුයි.ඒහිදි අප මහ ජනයාගේ අපේක්ෂාවන්ට මුල්තැනදි වැඩ කළ යුතුයි. එසේ නොවුණහොත් අපි කොයිතරම් අතිතය දෙස හැරි බලා නිවරැදි කියවිමක් සිදු කර ගත්තත් භාවිතයේදි අපට ජය ගැනිමට පුළුවන් වෙන්නේ නැ”.