• සමස්ත ජනතාවම නොමග යවමින් හිටපු සභාපතිවරයා සිදුකළ එම ප්‍රකාශය අසත්‍ය බව ප්‍රසිද්ධ නිවේදනයක් මගින් සති දෙකක් තුළ ජනතාවට දැනුම්දෙන ලෙසට නියෝග
• මේ සම්බන්ධ සියලු නිවැරදි දත්ත හා ගණනය කිරීම් සම්බන්ධ වාර්තාවක් කෝප් කමිටුවට කැදවයි
• විධිමත් පරීක්ෂණයක් සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දීමටත් තීරණයක්
• වගකීම් විරහිත ප්‍රකාශ පිළිබදව අධ්යක්ෂ ජනරාල්වරයාටත් කමිටුවේ අප්‍රසාදය
• මූල්‍ය රෙගුලාසි උල්ලංඝනය කරමින් හිටපු සභාපතිවරයා මර්සිඩීස් බෙන්ස් මෝටර් රථයක් රු. 375000ක මාසික කුලීයට ලබා ගැනීම සම්බන්ධයෙන් වාර්තාවක් කැදවයි
• අභ්‍යන්තර විගණන නිලධාරි, මූල්‍ය අධ්යක්ෂ ඇතුළු තනතුරු රැසක් පුරප්පාඩු - කඩිනමින් පිරවීමටත් නියෝග
• කොමිෂන් සභාවේ කඩා වැටී ඇති පරිපාලනය නිවැරදි මාවතට ගන්නා ලෙස උපදෙස්
• ස්වාධීන ආයතනයක් වූ පමණින් කොමිෂන් සභාවට භාණ්ඩාගාරයේ අනුමතියෙන් තොරව කටයුතු කළ නොහැකි බවත් අවධාරණය කෙරේ.
• මාස තුනකින් නැවත කැදවීමක්
පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ සභාපතීත්වයෙන් 2023.09.06 දින රැස්වූ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවට (කෝප් කමිටුව) ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව කැඳවා තිබිණි.
මෙහිදී එම ආයතනයේ 2020, 2021 විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාරය සාධනය පරීක්ෂා කිරීම සිදුවිය. භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් සරත් කුමාර , මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති මංජුල ප්‍රනාන්දු , අධ්යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ යන මහත්වරු ඇතුළු නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට කැදවා තිබිණි.
හිටපු සභාපතිවරයාගේ සාවද්‍ය ප්‍රකාශය
ඉන්ධන ලීටරයක් රු. 250 ක මුදලට ලබාදිය හැකි බවට කොමිෂන් සභාවේ හිටපු සභාපතිවරයා සිදු කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහුගේ දත්ත සහ ගණනය වැරදි බව විගණකාධිපතිවරයා විසින් මෙහිදී කරුණු පෙන්වා දෙන ලදී.
පසුගිය කෝප් කමිටු රැස්වීමේදී මේ සම්බන්ධව වාර්තාවක් සකසන ලෙසට විගණකාධිපතිවරයාට නිර්දේශ කර තිබූ අතර ඒ අනුව ආනයනය කරන ඛනිජ තෙල් රේගුවෙන් නිෂ්කාශනය කර ගැනීම සදහා රේගුව වෙත ඉදිරිපත් කරන ලද තාවකාලික ඉන්වොයිසියක් මත පදනම්ව පිළියෙල කළ පළමු රේගු සටහන්කරයෙහි (CUSDEC) පිරිවැය පමණක් සැලකිල්ලට ගනිමින් මෙම ගණනය කිරීම් හිටපු සභාපතිවරයා සිදුකර ඇති බව විගණකාධිපතිවරයා පෙන්වා දුන්නේය. එසේම මෙම ගණනය නිවැරදි නොවීමට බලපාන තවත් හේතු ගණනාවක්ද ද සවිස්තරාත්වකව ඒ මහතා පෙන්වා දුන්නේය.
මෙවන් තත්ත්වයක් තුළ සමස්ත ජනතාවම නොමග යවමින් හිටපු සභාපතිවරයා සිදුකළ ප්‍රකාශය අද සම්පූර්ණ අසත්‍යයක් බවට පත්ව ඇති බවත් මෙවැනි නිලධාරීන් සම්බන්ධව ක්‍රියාමාර්ග ගතයුතු බවත් කමිටු සාමාජිකයෝ මෙහිදී පෙන්වා දුන්හ. ආයතනයේ අධ්යක්ෂ ජනරාල්වරයාද වගකීම් විරහිතව කටයුතු කර ඇති බව පෙන්වා දුන් කමිටු සභාපතිවරයා මේ සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළ කළේය.
ඒ අනුව මේ සම්බන්ධව පෙර ප්‍රකාශය වැරදි සහගත බව ප්‍රසිද්ධ නිවේදනයක් මගින් සති දෙකක් තුළ ජනතාවට දැන්විය යුතු බවත් මේ සම්බන්ධ සියලු නිවැරදි දත්ත හා ගණනය කිරීම් සම්බන්ධ වාර්තාවක් කෝප් කමිටුවට ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය. එසේම මේ සම්බන්ධ විධිමත් පරීක්ෂණයක් සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දිය යුතු බවටත් තීරණය කෙරිණි. ඉදිරියේදී මෙවැනි වගකීම් විරහිත කටයුතු නැවැත්වීම සදහා පියවර ගත යුතු බව කමිටු සභාපතිවරයා අවධාරණය කළේය.
මූල්‍ය රෙගුලාසි උල්ලංඝනය කරමින් හිටපු සභාපතිවරයා මෝටර් රථයක් කුලීයට ලබා ගැනීම
කොමිෂන් සභාවේ හිටපු සභාපතිවරයාගේ භාවිතය සදහා විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් අනුගමනය කිරීමකින් තොරව හා වලංගු ගිවිසුමකට එළඹීමකින් තොරව වාහනයක් කුලියට ගෙන තිබීම සම්බන්ධයෙන් අවධානය යොමුවිය. මේ සම්බන්ධව විගණකාධිපතිවරයා සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව මර්සිඩීස් බෙන්ස් වර්ගයේ මෝටර් රථයක් රු. 375000ක මාසික කුලී පදනම මත 2021 දෙසැම්බර් 7 සිට ලබාගෙන ඇති බවයි. ඒ අනුව රු. මිලියන 2.1ක් 2022 මැයි 31 දක්වා අනීතිකව ගෙවා ඇති බවද මෙම ගෙවීම් මූල්‍ය රෙගුලාසි උල්ලංඝනය කිරමින් ගැටලු ගණනාවක් සහිතව සිදුකර ඇති බව ද විගණකාධිපතිවරයා පෙන්වා දුන්නේය.
මේ සම්බන්ධ විගණන විමසුම් ගණනාවක් ඉදිරිපත් කළද ආයතනය පාර්ශටවයෙන් කිසිදු විමර්ශනයක් සිදු කර නැති බව ද විගණකාධිපතිවරයා පැවසීය. මේ බව විමසීමේදී වගකීම් විරහිත ලෙස පිළිතුරු දීම සම්බන්ධයෙන් අධ්යක්ෂ ජනරාල්වරයා කමිටු සභාපතිවරයාගේ දැඩි දෝෂදර්ශනයට ලක්විය. මේ සම්බන්ධයෙන් මූල්‍ය රෙගුලාසි 119 යටතේ ගනු ලබන ක්‍රියාමාර්ග සති දෙකක් තුළ වාර්තා කරන ලෙස භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරයාට නියෝග කරන ලදී. එසේම මෙම තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට පියවර ගන්නා බවත් සභාපතිවරයා පැවසීය.
අභ්‍යන්තර විගණක ඇතුළු තනතුරු ගණනාවක් පුරප්පාඩු වීම
අභ්‍යන්තර විගණක තනතුර පෙබරවාරි මස සිට පුරප්පාඩුව පවතින බවත් මේ අනුව මෙම කාලය තුළ විගණන සහ කළමනාකරණ කමිටු රැස්වීම් පැවත්වීම සිදු කර නැති බවත් අනාවරණය විය. තවද මූල්‍ය අධ්යක්ෂ, මානව සම්පත් හා පරිපාලන අධ්යක්ෂ, නියෝජ්‍ය අධ්යක්ෂ- මෙහෙයුම් ඇතුළු ප්‍රධාන තනතුරු ගණනාවක් පුරප්පාඩුව පවතින බවත් මෙහිදී අනාවරණය විය.
කොමිෂන් සභා පනත මගින් යම් බලතල ලබාදී තිබුණද එය රජයේ ආයතනයක් බැවින් එහි බදවා ගැනීම් පටිපාටිය, වැටුප් ව්‍යුහය, ආදිය සම්බන්ධයෙන් භාණ්ඩාගාරයේ සහ එහි දෙපාර්තමේන්තුවල අනුමතිය හෝ එකගතාව ලබාගත යුතු බව භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් පෙන්වා දෙන ලදී. එබැවින් මේ සම්බන්ධව සාකච්ඡා කර ගෙන යන බව ද ඔහු පැවසීය. මාස දෙකක් තුළ මෙම පුරප්පාඩු විසදීමට විසදුම් යෝජනා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස කමිටුව විසින් නියෝග කරන ලදී.
වාහන ණය යෝජනා ක්‍රමයක් භාණ්ඩාගාර අනුමැතියක් තොරව ක්‍රියාත්මක කිරීම
බැංකුව අයකරන පොළිය හා සියයට 4.25 අතර වෙනස කොමිෂන් සභාව දරමින් දෙනු ලබන වාහන ණය යෝජනා ක්‍රමයක් භාණ්ඩාගාර අනුමැතියක් තොරව ක්‍රියාත්මක කිරීම සිදුකරන බව මෙහිදී අනාවරණය විය. උපරිමය රු. මිලියන 5කට සහ ආපසු ගෙවීම් කාලය වසර 5කට යටත්ව මෙලෙස ලබා දී ඇති බවත් හෙළිවිය.
භාණ්ඩාගාර චක්‍රලේඛයක් මගින් මෙවැනි අවස්ථාවන් අත්හිටුවා ඇති බැවින් පනතේ ප්රතිපාදනයක් මත යැයි පවසමින් මෙලෙස කටයුතු කිරීම ගැටලු සහගත බව අවධාරණය කරන ලදී. ඒ අනුව මාස දෙකක් තුළ මේ සම්බන්ධව ගනු ලබන පියවර දැනුම් දෙන ලෙස නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්වරයාට දැනුම්දෙන ලදී.
කොමිෂන් සභාව විසින් සිදුකරනු ලබන ඇතැම් ගෙවීම් වවුචරයන්හි නිර්දේශයක්, අනුමැතියක් , අත්සනක් නොමැතිව ගෙවීම් සිදු කිරීම පිළිබදව ද විමසන ලදී. මෙවැනි දුර්වලතා හැකි ඉක්මනින් මගහරවා ආයතනය නිවැරදි මාවතට ගත යුතු බව කමිටුව අවධාරණය කරන ලදී.
පනත යටතේ ස්වාධීනව කටයුතු කිරීමට විධිවිධාන සලසා තිබුණද භාණ්ඩාගාර පාලනයෙන් සම්පූර්ණයෙන් ගිලිහී කටයුතු කිරීම හේතුවෙන් පරිපාලනය සම්පූර්ණයෙන් කඩාවැටී අක්‍රමිකතා රැසක් සිදුවීමට හේතුවී ඇති බව මෙහිදී කමිටුව විසින් පෙන්වා දෙන ලදී. මෙම තත්ත්වය පාලනයට පියවර කඩිනමින් ගත යුතු බව කමිටුව විසින් අවධාරණය කරන ලදී.
මෙම කොමිෂන් සභාව ස්වාධිනව කටයුතු කිරීම වෙනුවට පැවැත්ම තහවුරු කරගැනීම සදහා කටයුතු කර ඇති බව පැවසූ කාරක සභා සභාපතිවරයා නැවතත් මාස තුනකින් කොප් කමිටුවට කැදවන බව පැවසීය.