චොංජිං හා ශ්රී ලංකාව අතර සබඳතා ශක්තිමත් කර ගැනීමට අවධානය
චීනයේ චොංඡිං නාගරිකය හා ශ්රී ලංකාව අතර ආර්ථික හා වෙළඳ සබඳතා ශක්තිමත් කරලීමේ අවස්ථාවන් පිළිබඳව චීනයේ හා ශ්රී ලංකාවේ අවධානය යොමුව තිබේ.
චීන කෙමියුනිස්ට් පක්ෂයේ හා කොමියුනිස්ට් පක්ෂ අන්තර්ජාතික දෙපාර්තමේන්තුවේ නියෝජිත පිරිසක් අද (18) පෙරවරුවේ කොළඹ අරලියගහ මන්දිරයේ දී ශ්රී ලංකා අග්රාමාත්යවරයා හමුවූ අවස්ථාවේදී මේ පිළිබඳව අවධානය යොමුවිය.
චීන කොමියුනිස්ට් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය අතර ඇති සමීප සබඳතාවය, දෙරට අතර මිත්රත්වය වර්ධනය කිරීමටත්, ශක්තිමත් කිරීමටත් පාදක වූ බව ශ්රී ලංකා අග්රාමාත්ය රනිල් වික්රමසිංහ සහ චීන කොමියුනිස්ට් පක්ෂ දේශපාලන මණ්ඩල සභික සහ චොංඡිං නාගරිකයේ කොමියුනිස්ට් පක්ෂ ලේකම් චෙන් මිනර් මහතා අතර පැවති සාකච්ඡාවේ දී අවධාරණය කෙරිණි.
ජනාධිපති ෂි ජින් පිං ගේ සංකල්පයක් අනුව ක්රියාත්මක කෙරෙන ‘එක් මාවතක් – එක් තීරයක්’ වැඩ පිළිවෙලෙහි සාමාජිකයෙක් ලෙස ශ්රී ලංකාවේ කාර්ය භාරය අගය කළ චෙන් මිනර් මහතා කාර්මික හා කෘෂි කාර්මික නිෂ්පාදන ඇතුළු ක්ෂේත්ර ගණනාවක ආයෝජනය කිරීම සඳහා චොංඡිං නාගරිකයේ ආයතන සූදානමින් සිටින බව ද පැවසීය.
ගෝලීය ආර්ථික බලය ආසියාව වෙත කේන්ද්රවෙමින් පවතින බව පෙන්වා දුන් ශ්රී ලංකා අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා, අනාගත ආසියානු අභියෝග පිළිබඳව සැලකිල්ලෙන් අවධානය යොමු කළ යුතු කාලය එළැඹ ඇති බව පෙන්වා දුන්නේය.
ශ්රී ලංකාවේ ජනතාව වෙත උපරිමයෙන් සහය ලබා දීමට හැම විටම ක්රියා කරන බව ද චෙන් මහතා අවධාරණය කළේය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

