චීනයේ චැනංග්-5 අභ්‍යවකාශ යානයේ ලෑන්ඩර් යානය සාර්ථකව සඳ මතට ගොඩ බැස ඇති බව චීන ජාතික අභ්‍යවකාශ පරිපාලනය නිවේදනය කරයි.
අභ්‍යවකාශ ගවේෂණයෙන් පසුව ඉහළට නැඟීමට අවශ්‍ය වන ඇසෙන්ඩර් යානයද සමග බීජිං වේලාවෙන් ඊයේ (01දා) රාත්‍රී 11.00 ට පමණ මෙම ගොඩබෑම සිදුව ඇති. ඒ අනුව සඳ මත මෘදු ගොඩබෑමක් සාර්ථකව සිදුකළ චීනයේ තුන්වැනි පරීක්ෂණ යානය බවටද එය පත්ව ඇත.
මීට පෙර සඳ පෘෂ්ඨයේ ගොඩබැසීමක් සිදු නොකළ ප්‍රදේශයක මෙම ගොඩබැසීම සිදුව ඇති අතර, ඉදිරි දින දෙක තුළ, ලෑන්ඩර් යානය විසින් චන්ද්‍රයාගේ පාෂාණ සාම්පල කිලෝග්‍රෑම් දෙකක් පමණ එකතු කරගැනීමට නියමිත බව කියයි.
චැන්ග්-5 අභ්‍යවකාශ යානය චන්ද්‍රයාට කිලෝමීටර් 200ක් ඉහළින් චන්ද්‍ර කක්ෂයට ඇතුළු වූ පසු, ගොඩබෑමේ සහ නැගීමේ ලෑන්ඩර් සහ ඇසෙන්ඩර් යානා යුගලය ඉන් මිදී සඳමත සැලසුම් කළ ප්‍රදේශය වෙත ගොඩබැසීම සිදුකරන ලදී.
ලෑන්ඩර් විසින් සඳ පෘෂ්ඨයේ රොබෝ අතක් මගින් මීටර් දෙකක් ගැඹුරකින් යුතු සිදුරක් හාරා එහි ඇතුළත සිට පාෂාණ ලබාගැනීම සිදුකරන බව කියයි.
චැන්ග් -5 පරීක්ෂණය වසර 40 කින් ලොව ප්‍රථම මිනිසුන් රහිත නියැදි ආපසු ලබා ගැනීමේ මෙහෙයුමේ කොටසක් බවට පත්ව ඇති අතර එක්සත් ජනපදය හා හිටපු සෝවියට් දේශයෙන් පසු චන්ද්‍ර සාම්පල නැවත ගෙන එන ලොව තුන්වැනි රට චීනය පත්වනු ඇත.
චැන්ග්-5 අභ්‍යවකාශ යානය නොවැම්බර් 24 වැනිදා අලුයම දියත් කරන ලදී. මෙය චීනයේ මෙතෙක් සිදුකර ඇති වඩාත්ම සංකීර්ණ හා අභියෝගාත්මක අභ්‍යවකාශ මෙහෙයුම්වලින් එකක් වන අතර, එය සඳෙහි නිර්මාණය හා පරිණාමය වැනි ක්ෂේත්රවල විද්‍යාත්මක අධ්‍යයන සඳහා දායක වනු ඇත.